අවුරුදු පහක් කෝමා තත්ත්වයෙන් සිටි උදය ගම්මන්පිල කෝමා තත්ත්වයෙන් අවදි වී මේ සිදුකරමින් සිටින පාස්කු විමර්ශනයට අකුල් හෙලීමේ කොන්ත්‍රාත්තුවට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) පැහැදිලිවම ප්‍රකාශ කළේය.
අවුරුදු 13ක් හිරේ යන්නට බලාගෙන හෙට උදෑසන වනවිට අනිවාර්යයෙන් හෙළිදරවු කරන බවට උදය ගම්මන්පිල කියන වාර්තා මොනවාදැයි පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“මේ පුද්ගලයාගේ මේ මැදිහත් වීම තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් සොයා ගැනීම සඳහා උවමනාව නොවෙයි. මේ පුද්ගලයාගේ මේ උවමනාව තියෙන්නේ සැබෑ වරදකරුවන් සඟවන්න. ඒ ගොල්ලන්ගේ කුලී කොන්ත්‍රාත් එකක් මේ ඉටු කරන්නේ. ”
“ඔය සෙල්ලම් කරන්න පුලුවන් 2015 රනිල් වික්රමසිංහත් එක්ක. කිසි දෙයක් හරියට කරගන්න ඉඩ නොදි පෙරළන පෙරළන බාල්දියට වැටි වැටී තමයි රනිල් වික්‍රමසිංහ 2015 ගමන් කළේ.
මතක තියාගන්න. මේ ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ. බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ. එහෙමයි රටක් පාලනය කරන්නේ.”
උදය ගම්මන්පිලගේ හැසිරීම සම්බන්ධව ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.
පොලිස්පතිවරයෙක් නැති පොලිසියක් අපට ලැබුනෙ. අපි ඉතාම වැදගත් මහත්මයෙක් පත් කරලා තියනවා පොලිස්පති ධූරයට. පොලිස් දෙපාර්ත්මේන්තුවෙ වැඩකරනකොට කීර්තිමත් ඉතිහාසයක් තියන මහත්මයෙක්. නැවත පරීක්ණ අත් දැකීම් ඇති අය බඳවාගෙන තියනවා පොලිසියට. අපි මේ වැළළී ගිය පරීක්ෂණ විධිමත් කරන්න කටයුතු කරලා තියනවා.
දැන් කට්ටිය කලබල වෙලා තියනවා. පාස්කු ප්‍රහාරය වපුරලා බලය ගන්න ගිය අය දැන් කලබල වෙලා තියනව. ජාතිවාදය වපුරලා කුරුණෑගල මහ රෝහලේ ගර්භාෂ යුද්ධයක් තියනවා කියලා ජාතිවාදය වපුරපු අය අවුරුදු 5කට පස්සේ 2019 න් පස්සේ නැවත කොමා තත්ත්වයෙන් අවදි වෙලා.
අවුරුදු පහම කෝමා. දැන් අවදි වෙලා තියනවා අර වාර්තාව දෙන්න. මේ වාර්තාව දෙන්න. අවුරුදු 05ක් කෝමා.
ඒ වාර්තා ගැන කියන්නම්. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහ ගේ වාර්තා. එක් වාර්තාවක් රනිල් වික්‍රමසිංහ චැනල් 4 නාලිකාවේ ගිය වීඩියෝ පටය ගැන සොයන්න කමිටුවක් පත් කළා. එය කිසිසේත්ම විමර්ශන කමිටුවක් නෙමෙයි. කමිටුවක් පත් කරලා වාර්තාවක් දිලා තියනවා.
දෙවැනි එක පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශවලින් යම් වැරැද්දක් වුනා ද කියලා සොයලා බලන්න කමිටුවක් පත් කරලා තියනවා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. ඒක රනිල් වික්‍රමසිංහ පත් කරන ලද කමිටු.
එම කමිටු දෙක විසින් වාර්තාවක් ලබා දිලා තියනවා. ඒ වාර්තාව ලබා දීලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයට.
මම එනකොට හිටපු ජනාධිපති ලේකම්වරයාට කතා කරලා ඇහුවා ඒ වාර්තාවලට කුමක් ද සිදුවුනේ කියලා. ඔහු මට කිව්වා එහි එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරලා තියනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරලා තියනවා. ඔන්න වාර්තා.
තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කරලා තියනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරලා තියනවා. ඒ වගේම අගරදගුරු මණ්ඩලයේ ලේකම් තුමාටත් රදගුරු මණ්ඩලය වෙනුවෙන් යොමු කරලා තියනවා.
ඒ කිසිවක් රහස් වාර්තා නොවෙයි. ඒ හැම වාර්තාවක්ම අදාල ආයතනවලට යොමු කරලා තියන වාර්තා.
හැබැයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ සමහර කමිටු හැදුවේ රනිල් වික්‍රමසිංහගෙ උවමනාව තිබුණේ මේ පරීක්ෂණය ඇත්ත දිශාවට යොමු කිරීම නෙමෙයි, යටපත් කිරීම. ඒ උවමනාවෙන් තමයි සමහර කමිටු ඉදිරිපත් කළේ. ඒ නිසා අපි බලය අරගෙන ඉතාම කෙටි දවසකින් අපි පොලිසපතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා.
අන්න එතකොට කෝමා තත්ත්වයේ හිටි අය අවදි වුනා. විධිමත් පරීක්ෂණය කියනකොට…. විධිමත් පරීක්ෂණයට බයයි. මේක කඩා කප්පල් කරන්න ඕන. මේකට අකුල් හෙලන්න ඕන. ඇත්ත දිශාව වෙනස් කරන්න ඕන. වෙන සමාජ මතයක් නිර්මාණය කරන්න ඕන.
මෙන්න මේ කූට උවමනාව වෙනුවෙන් කොමා වෙලා හිටපු අය අවදි වෙලා ඉන්නවා. හොඳට තේරුම් ගන්න. මේ පුද්ගලයාගේ මේ මැදිහත් වීම තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් සොයා ගැනීම සඳහා උවමනාව නොවෙයි. මේ පුද්ගලයාගේ මේ උවමනාව තියෙන්නේ සැබෑ වරදකරුවන් සඟවන්න. ඒ ගොල්ලන්ගේ කුලී කොන්ත්‍රාත් එකක් මේ ඉටු කරන්නේ.
ඒ නිසා ඒවට යටවෙන්නෙත් නෑ. ඒවට හිර වෙන්නෙත් නෑ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණය ඉටු කරලා මේ රටේ ජනතාවගේ ඇත්ත උවමනාව ඉටු කරනවා.
අපට මොනවද හංගන්න තියෙන්නෙ. අපට කවුද බේරන්න තියෙන්නේ. හංගනන්න ඉන්නේ ඒ ගොල්ලන්ට. බේරන්න ඉන්නේ ඒ ගොල්ලන්නට. ඒ නිසා මතක තබා ගන්න. ඒ සෙල්ලම් කරන්න පුලුවන් 2015 රනිල් වික්රමසිංහත් එක්ක. කිසි දෙයක් හරියට කරගන්න ඉඩ නොදි පෙරළන පෙරළන බාල්දියට වැටි වැටී තමයි රනිල් වික්‍රමසිංහ 2015 ගමන් කළේ.
මතක තියාගන්න. මේ ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ. බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ. එහෙමයි රටක් පාලනය කරන්නේ.
මේ පරීක්ෂණය අඩපන කිරීම සඳහා සැබෑ වග උත්තරකරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණ කරුවන් එළියට ඇවිත් තියනවා. ඉඩ නොදෙන බවට මම ඔබට සහතිකයක් දෙනවා.







