හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසක් තුළ තිබී එකම පවුලේ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමේ සිද්ධිය පසුපස මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.
අද අලුයම 5.30ට පමණ දෙමහල් නිවසක් ගිනි ගන්නා බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පොලිසිය කළ දැනුම් දීමෙන් අනතුරුව හලාවත ගිනි නිවන ඒකකයේ නිලධාරීහු පැමිණ ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්හ.
අනතුරුව කළ පරීක්ෂණයේ දී එම නිවසේ පහළ මාලයේ තිබී ගෙල සිඳී ගිය කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබිණි.
නිවසේ සාලයේ පිලිස්සී ගිය පිරිමි මළ සිරුරක් සහ දැරියකගේ මළ සිරුරක් ද පොලිසියට හමු වී තිබිණි.
පොලිසිය පැවසුවේ මෙසේ මිය ගොස් ඇතතේ 51 හැවිරිදි පියා, 44 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණියකි.
මිය ගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකි. මිය ගිය පුද්ගලයා ප්‍රදේශයේ ඉඩම් අලෙවි කරන ව්‍යාපාරිකයෙකි.
සිද්ධිය පිළිබඳව අංශ කීපයකින් පුලුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.







