රජයේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වතුකරයේ අධ්‍යාපන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සිය මූල්‍ය ආධාර ප්රදානය රුපියල් මිලියන 600 දක්වා දෙගුණ කර තිබේ.
ඊයේ (18 ) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර අදාල වැඩි කරන ලද ආධාර අරමුදල් ප්රදානය අවසන් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ලේඛන අත්සන් කර හුවමාරු කර ගත්හ.
රජය විසින් හඳුනාගෙන ඇති පාසල් නවයක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙම ව්‍යාපෘතියට මධ්‍යම පළාතේ පාසල් හයක් සහ ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල පාසල් එකක් බැගින් ඇතුළත් වේ.
මෙම මුලපිරීම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ පුළුල් සංවර්ධන හවුල්කාරිත්වයේ කොටසක් බවත්, පෙර මෙම ක්ෂේත්රයේ ඉන්දියානු සංවර්ධ ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
උතුරු පළාතේ පාසල් 100කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම, දකුණු සහ නැගෙනහිර පළාත්වල විද්‍යුත් පුස්තකාල 40ක් පිහිටුවීම, දිවයින පුරා පිහිටි අධ්‍යාපන ආයතන සඳහා බස් රථ 110ක් සැපයීම, සියලුම පළාත්වල ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර පිහිටුවීම, රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඇතුළු ශ්‍රවණාගාර ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, උතුරු මැද පළාතේ පොළොන්නරුවේ බහු වාර්ගික, ත්‍රිභාෂා පාසලක් ඉදිකිරීම, හැටන් (මධ්‍යම පළාත) හි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ නැගෙනහිර පළාතේ අනෙකුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා සහාය වීම, ගාල්ලේ (දකුණු පළාතේ) පාසල් 200 ක ස්මාර්ට් පන්ති කාමර සහ පරිගණක විද්‍යාගාර පිහිටුවීම මින් පෙර ඉන්දීය අරමුදල් යටතේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති අතර වේ.







