හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිවු දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ අද (10) නිල වශයෙන් අධිචෝදනා භාර දුන්නේය.
2012 වසරේ ග්‍රීසියේ දරුණු ආර්ථික අර්බුදයක් පවතිද්දී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගෙන ශ්‍රී ලංකා රජයට රුලිවග් බිලියන 1.84 කි පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
විත්තිකරුවන් මුල සිටම විමර්ශනවලට පූර්ණ සහයෝගය ලබා දුන් බවත්, එබැවින් ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අධිකරණ කටයුතු අතරතුර විත්තියේ නීතිඥවරු තර්ක කළහ.
මෙම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එක් එක් විත්තිකරුවෙත රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය
ඊට අමතරව විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවූ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.
මෙහිදි විත්තියේ නීතිඥවරුන් අවධාරණය කලේ මෙම අධිචෝදනා පත්‍රයට අත්සන් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවය.
මීළඟ නඩු විභාගයේදී අධිචෝදනාවලට එරෙහිව මූලික විරෝධතා ගොනු කිරීමට අදහස් කරන බව විත්තිය පෙන්වා දුන්නේය.
මෙම විරෝධතා සහ ඇප කොන්දේසිවලට අනුකූල වීම සඳහා විනිසුරුවරයා මීළඟ නඩු දිනය දෙසැම්බර් 6 වැනිදාට නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එම්.ඒ.කරුණාරත්න ය.







