මෙය හුදකලා සිද්ධියක් ලෙස සඟවා නොතැබිය යුතු බව සිතේ. නෙළුම් කුලුනෙන් පැන සිය දිවි හානි කරගත් දියණිය තිගස්වන සුලු පණිවිඩයක් සමාජයට ලබා දී ඇති බැවිනි.
සිය යොවුන් දියණිය පෙළෙන මානසික ව්‍යසනය ඒ අම්මාට හෝ තාත්තට හරියට හඳුනාගත නොහැකි වූවාසේ පෙනේ. එහි ප්‍රතිඵලය ඊයේ ලැබිනි. ඔවුන්ට ලැබෙන්නේ බිඳී සුන් වී ගිය ඔවුන්ගේ යොවුන් දියණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුරය. ඒ නෙළුම් කුලුන පාමුල බේරේ වැව පැත්තෙනි.

ඊයේ (07) සවස් කාලයේ මේ දියණිය නෙළුම් කුලුනට එන්නේ හුදකලාවය. පැමිණ නිරීක්ෂණ මැදිරියට ප්රවේශවීම සඳහා ටිකට් පතක් මිලදීගන්නීය. ඇය නෙළුම් කුලුනට එන්නේ සිය පාසල් නිල ඇඳුම මාරු කර බෑගයේ දමාගෙන සාමාන්‍ය ඇඳුමකිනි. නෙලුම් කුලුනේ 29 වැනි මහලේ නැරඹුම් පීඨිකාව වෙත යන ඇය එතැනින් බිමට පනින්නීය. ඇයගේ බුන්බත් සිරුර හමුවන්නේ නෙලුම් කුලුනේ තුන්වැනි මහලේ කොන්ක්‍රීට් වහලය මතිනි.
ඇය කවුද. මේ දියණියගේ පාසල් බෑගය සහ පාවහන් යුවල නැරඹුම් පීඨිකාවේ දමා තිබිණි. ඇයගේ පාසල් පොත්පත් මෙන්ම නිල ඇඳුම ද බෑගයේ විය. ඇයගේ අනන්‍යතාවය සොයා ගැනීමට වඩාත් පහසු වන්නේ ඒ පොත් බෑගය ය.
ඇය මේ රටේ ඉහලම සමාජ පන්තිය නියෝජනය කරන මව් පිය යුවලකගේ දියනියකි. පදිංචිය කොල්ලුපිටිය ප්රදේශයේය. වයස අවුරුදු 16කි. අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඉළම ජාත්‍යාන්තර පාසලක 11 වසරේය. පාසලට ගොස් පාසල් කාලය නිම වීමෙන් අනතුරුව නෙලුම් කුලුනට ගොස් මේ ව්‍යසනය සිදුකරගෙන ඇත.
ඇය බිමට පනිනා ආකාරය ඇසින් දුටුවෝ වෙති. සීසීටීවී දර්ශනවලද ඒ ව්‍යසනය සටහන්වී ඇත. අවධානය යොමු කළ යුතු බිහිසුණු තත්ත්වයක් ඇත. කොළඹ ඇල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිට පැන සිය දිවි නසා ගත් පාසල් සිසුවා සහ සිසුවිය පිළිබඳ සිදුවීම ඔබට මතක ඇතැයි සිතමු. ඔවුන් දෙදෙනා ඊයේ ජීවිතය ව්‍යසනයට ලක් කරගත් දියණියගේ පාසලේය. ඔවුන් තිදෙනා සමීප මිතුරන්ය.
එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ. දියනියගේ මානසික පීඩනය ගැන තාත්තාට හරියටම තේරෙනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. මේ සිදුවීම වාර්තා වන්නේ මුල් සිද්ධිය වී මාස කීපයකට පසුව බව සිහි කළ යුතුය. මේ ඇතිවී තිබෙන තත්ත්වය සමාජ මනෝ විද්‍යාත්මක ප්රවේශයකින් සලකා බැලිය යුතු එකක් බව අප විශ්වාස කරන්නේ එබැවිනි. එතෙක් නික්ම ගිය ඒ දියණියට නිදහසේ අවසන් ගමන් යන්න ඉඩ දෙන්න තරම් ශිෂ්ඨ මිනිසුන් වෙන්නට අපි උත්සාහ කරමු.







