කීර්ති ප්‍රනාන්දු –
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අද (02) සිය නීතිඥයින් මාර්ගයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව සැකකාරියව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු නියෝග කළාය .
එසේම මිනුවන්ගොඩ පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට නියෝග කරනු ලැබීය .
මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිද්ධිය වූ ඉකුත් අගෝස්තු මස 30 දින සිට පොලිසිය සහ අධිකරණය මගහරිමින් සිටි අතර ඇයව අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දෙවරක් නියෝග කර තිබූ අතර ඇය ඊයේ( 02) සවස ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබිණ .
මෙම ප්‍රධාන සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අදහස් දැක්වූ මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ .ජී .කේ . අභයරත්න මෙම සැකකාරිය මාසයකට අධික කාලයක් අධිකරණ නියෝගයකද නොසලකා හරිමින් අධිකරණය හා පොලිසිය මගහැර සිටි බවත් කෙස් කළඹ ගැලවී යාමෙන් අගතියට පත් කාන්තාවගේ වෛද්‍ය වාර්තාවද තවමත් ලැබී නැති බවත් එබැවින් මෙම සැකකාරියට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද පැවසීය.
මෙහිදී සැකකාර රූපලාවණ්‍යගාර හිමිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ සංජීව හෙට්ටිආරච්චි අධිකරණයට කරුණු දක්වමින් රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන තම සේවා දායිකාවට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසත් කෙස්කලඹ ගැලවී යාමෙන් අගතියට පත් කාන්තාව හට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ලබාදීමට කැමති බවත් අධිකරණයට පැවසීය .







