මාලිමාවේ රජයක් යටතේ රටේ ජාත්‍යාන්තර සම්බන්ධතා බිඳ වැටෙනු ඇතැයි ප්‍රතිපක්ෂ විසින් එල්ල කළ චෝදනාවට කදිම පිළිතුරක් මාලිමා රජය පත් වී සතියක් ඉකුත් වන්නටත් පෙර ජපාන රජයෙන් ලැබුණු බව අගමැතිණි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ විදේශ ආයෝජකයින් පැවති රජයන් සමග ගනුදෙනු කිරීමේ දී මොනතරම් පීඩාවට පත්ව සිටින්නට ඇතිද යන්න මේ සුහදශීලී මෙන්ම උද්‍යෝගීමත් ප්‍රතිචාරවලින් පැහැදිලි වන ආකාරය ය.
ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බව තහවුරු කර තිබිණි.
ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මීට ඇතුළත් බව ජපාන තානාපතිවරයා වැඩදුරටත් පවසා ඇත.







