රජයේ පාසල්වල සිසුන් ප්‍රමාණය පසුගිය වසර හයේදී තුන් ලක්ෂ තිස් දෙදහස් අසූ හතරකින් (332084) කින් අඩුවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ පවසයි.
ඔහු එම දත්ත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රජයේ පාසල්වල 2018 වර්ෂය වනවිට ළමයින් 4214772ක් සිටියද පසුගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 3882688ක් දක්වා පහත බැස ඇති ආකාරය ය.
මේ අතර එම කාල සීමාවේදී රජයේ පාසල් ප්‍රමාණය ද 79කින් අඩුවී ඇතැයි ඔහු සඳහන් කළේය.
රජයේ පාසල් 10175ක් පසුගිය 2018 වර්ෂයේදී පැවැති නමුත් 2023 වර්ෂය වන විට එය 10096ක් දක්වා අඩුවී තිබූ බව පවසන මහාචාර්යවරයා පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාවද පසුගිය වසර හයේදී 9547 කින් අඩුවී ඇතැයි ප්‍රකාශ කළේය.
ගුරුවරුන් 2018 වර්ෂයේදී 247334ක් සිටි නමුත් එම සංඛ්‍යාව 2023 වර්ෂයේ දී 237787ක් දක්වා පහත බැස තිබූ බව හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ නමුත් පෞද්ගලික පාසල් සංඛ්‍යාව එම කාල සීමාවේදී පහළොවකින් වැඩිවී ඇතැයි පැවසූ මහාචාර්යවරයා 2018 වර්ෂය වන විට තිබූ පෞද්ගලික පාසල් 80 පසුගිය වර්ෂය වන විට අනූපහක් දක්වා වැඩි වී තිබූ බවද සඳහන් කරයි.
මේ අතර ළමයි පනහට අඩු පාසල් 2018 වර්ෂයේදී 1480ක් තිබිණ. ගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1506ක් දක්වා වැඩිවී තිබූ බවත් ළමයින් 51-100 අතර පාසල් 2018 වර්ෂයේදී 1530 ක් තිබුණ නමුත් පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1638 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
දරුවන් දෙසියට අඩු පාසල් 2018 වර්ෂයේදී 5138ක් තිබූ අතර ගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 5262ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වන බව ඔහු විශේෂ කර දක්වයි.
ආර්ථික සමාජීය වෙනස්වීම් මෙන්ම ජන සංක්රාන්තියේ වෙනස්වීම්ද මේ තත්වයට හේතුවන්නට ඇතැයි සමාජ විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. ( සුජිත් හේවාජුලිගේ – ලංකාදීප )







