ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට බෙදා හැර රෝගී ජීවිත අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස අටකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහරින ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (11) නියෝග කළාය.
මේ අනුව මෙම නඩුවේ හත්වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ රත්න කුමාර හේරත් , 12 සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ද ඇප මත මුදා හැරුණේ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම කිරීමෙන් පසුවය.
කෙසේ වුවද මෙම ඇප ලබා දීමට කෙහෙළියගේ නීතිඥයන් විසින් කරන ලද ඉල්ලිමට විරා්ධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කෙහෙලිය රඹුක්වැල්ල ට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා ඔහුගේ රෝගී තත්වයන්ට අදාළ ව ප්‍රතිකාර හා හෘද රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස මලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙලිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව අප මත මුදා හැරීමට කළාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පලමුවැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට යන සැකකරුවන් දෙදෙනා සිය දිවිනසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බවත් දැඩි හෘද රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. පසුගිය නඩු වාරයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යවනු ලැබු පළමු සැකකරු වන සමාගම් හිමියා අද අධිකරණයට ඉදිරිපත් නොකෙරුනු අතර සෙසු සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්රවනතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ය. තවද පුර්ණ බාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත් එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවද ජනාධිපති නිතිඥ වරයා පෙන්වා දුන්නේය. එබැවින් සුදුසු ඕනැම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේ දී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරනි එවා බවත්ය. එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර දහයකදි ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුලදි එම රෝග වලින් නොපෙලෙන බවයි. තවද වර්තමාන රෝගි තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දිමට සැකකරු අසමත් වී ඇති බවයි. මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂනය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා එම මානසික ප්‍රතිකාර සහ හදෘ රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නඩුවේ 7වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය රුපියල් ලක්ෂ එකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කළාය.







