දිනසේන රතුගමගේ –
ක්ෂුද්‍ර මූල්‍ය ණයක් ලබා ගත් යාපනයේ තවත් කාන්තාවක් එම ණය මුදල ගෙවා ගැනීමට නොහැකිව ඊයේ (2) ගෙළ වැලලා ගෙන මියගොස් තිබේ.
යාපනයේ අරුකල්මඩම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සයන්තන් කතීසා නැමති මෙම දෙදරු මවක් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල ලබා ගෙන කුඩා වෙළද සැලක් පවත්වා ගෙන ගොස් ඇති අතර ගම්මානයේ පාරිභෝගිකයින් ණයට භාණ්ඩ ලබා ගෙන මුදල් ආපසු නොගෙවීම නිසා වෙළද සැල පාඩු වී ඇයට එය වසා දැමීමට සිදුව ඇත.
නමුත් ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම ලබා ගත් මූල්‍ය ආයතනයේ නිලධාරීන් පැමිණ ණය මුදල නොගෙවන්නේ නම් ඇයට එරෙහිව අධිකරණයක නඩු පවරණ බවට කළ ප්‍රකාශ නිසා බියටපත් කාන්තාව සිය දිවි හානි කරගෙන තිබේ.
ඇය නිවසේ උදවිය නොමැති අවස්ථාවක නිවසේ පිටුපස කොටසක වූ ලීයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇත.
ඇය එල්ලී සිටිනු දැක අසල්වාසීන් ඇයගේ සිරුර ලණුවෙන් ලිහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
මියගිය කාන්තාව පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධව ඇති වූ මෙවැනි පීඩාකාරී තත්ත්ව තුළ යාපනයේ දුප්පත් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සිය දිවි නසාගත්තා සේම තවත් විශාල පිරිසක් ලිංගික අපයෝජනයන්ට ලක් වි තිබිණි.







