කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව ගබඩා කර තිබූ කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගබඩාවේ භාණ්ඩ භාරකාරවරයා ලබන 04 දින දක්වා රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (30) නියෝග කළේය.
පසුගිය දා අධිකරණයේ දී හෙළි වූයේ නඩු භාණ්ඩ වශයෙන් තිබුණු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් භාරගෙන ඇති බවය.
අනතුරුව මෙම හෙරොයින් තොගය සහ සීඅයිඩි නිලධාරියා ලෙස පෙනී සිටි පුද්ගලයා අතුරුදහන් වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලෙස පෙනී සිටිමින් මෙම හෙරොයින් ප්‍රමාණය රැගෙන ගොස් ඇත්තේ තරිඳු යෝෂිත නැමැත්තෙක් බවත් අධිකරණයේ දී හෙළි වී තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
හෙරොයින් තොගය රැගෙන ගොස් ඇත්තේ තරිඳු යෝෂිත නැමැත්තා කවුද යන්න හෙළි කරගැනීම සඳහා වහාම විමර්ශනයක් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
ඒ අනුව අධිකරණ භාරයේ තිබූ හෙරොයින් පාර්සල් දෙකක් අස්ථානගත කිරීමෙන් රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු අත් අඩංගුවට ගැනීමට ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ගබඩාභාරකරු අත් අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස අද නියෝගය කළේය.







