ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවත් පැෆරල් සංවිධානය පවසයි.
ඡන්ද ලබාගැනීමේ අරමුණින් ජනතාවට මෙම සහන ලබාදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැසුව ද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් එය ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකියාව ඇති බවය.
2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක් ලබා දීමට රජය එකඟ වී ඇති බවත්, රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක් දක්වා වඩි කරන බවත්, විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බවත් ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.
රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කළේය
විශ්‍රාමිකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500.00 බැගින් ලබා දීමටත්, 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමටත් වත්මන් රජය සූදානම් බව එව නිවේදනයේ දක්වා තිබිණි.
එමෙන්ම මිල සුත්‍රය මත පදනම් වූ බව දක්වමින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, ඇතුළුව සමස්ථයක් ලෙස ජල ගාස්තුව සියයට 5.94 කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු ගැසට් පත්‍රය පෙරේදා රජය විසින් නිකුත් කළේය.







