දිනසේන රතුගමගේ –
ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී රම්බා ඊයේ (31) යාපනයට පැමිණීමත් සමගම ඇගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ඇයව දැකීමට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීම නිසා ගුවන් තොටුපල අසල දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.
රම්බාට මල් කළඹ පිලිගැන්වීම සදහාත් ඇයව දකීමටත් ඇය සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටත් විශාල පිරිසක් ගුවන් තොටුපල පර්යන්තයට අතුලුවීමට උත්සාහ කිරීම නිසා ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිස් බල ඇණි කීපයක්ද යෙදවීමට සිදුව තිබුණි.
ඉන්දියාවේ සිට පෞද්ගලික ගුවන් යානයකින් රම්බා හා ඇගේ සැමියාද තවත් කීප දෙනෙකුද යාපනයට පැමිණ සිටියේ ඔවුන්ගේ වියදමින් යාපනයේ පවත්වා ගෙන යන පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි හා ඩිප්ලෝමා සහතික ප්රදානය කිරීමේ උත්සවයට සහභාගී වීම පිණිසය.
යාපනයේ උපන් රම්බාගේ ස්වාමියාගේ උපන් දිනයද මේ සතියේ යාපනයේදී සැමරීමට රම්බා හා ඇගේ සැමියා බලාපොරොත්තු වෙයි.
පසුගිය වසරේ පෙබරවාරී 9 වෙනිදා ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මහා සංගීත රාත්‍රියකට රම්බා පැමිණ නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියදී යාපනයේ රසික රසිකාවියන් වේදිකාව දෙසට යාමට උත්සාහ කිරීම නිසා විශාල කලබලයක් ඇති වූ අතර ඒ හේතුව මත ප්‍රසංගය අවලංගු කිරීමටද සංවිධායකවරුන්ට සිදුවිය.
ඒ අවස්ථාවේදී කුපිත වූ පිරිසක් වේදිකාවේ හා අවට තිබූ හාණ්ඩ වලට පහර දීම නිසා රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදු වූ අතර නව දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනීමටද සිදුවිය.







