ඉඳුනිල් කහටපිටිය –
පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යළිත් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ක්‍රිකට් හාන හැටි දුටුවෙමු.
විස්සයි විස්ස තරගාවලිය තරගයක් ඉතිරිව තබාගෙන ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කර හමාරය.
අද පැවති දෙවැනි තරගය ඉන්දියාව කඩුළු 07කින් දිනුම්ය. වඩාගෙන ගහනවා කියන්නේ කුමක්දැයි බලා ගන්නට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අද මැච් එක යූ ටියුබ් එකේ හෝ යලි බලන්න යෝජනා කරමු.
කඩුළු 9ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක් ලබා ගත්තේය. අයහපත් කාල ගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව පන්දු ඕවර 8ක දී ලකුණු 78ක ඉලක්කයක් ඉන්දියානු කණ්ඩායමට ලැබි තිබිණි. ඔවුන් පන්දු ඕවර 6.3ක දී තරගය නිමා කළහ.
ලියන්නට සිදුවන්නේ එකම කතාවකි. මේ ක්‍රිකට් අහවල් ක්‍රිකට්දැයි කියාය.
කාසියේ වාසිය දිනුවේ ඉන්දීය කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 24ක දී ලකුණු 32කි. කුසල් ජනිත් පෙරේරා පන්දු 34ක දී ලකුණු 53කි. කමිඳු මෙන්ඩිස් පන්දු 23ක දී ලකුණු 26කි. කමිඳු දැවී යන්නේ 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ය. එවිට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 130කි. කමිඳුගේ දැවී යාමත් ඇතුළුව පන්දු 30ක් තුළ ලකුණු 31කට කඩුළු 7ක් දැවි යන අයුරු දකින්නට යළිත් අපි සල්ලි දී ටිකට් අරන් පල්ලෙකැලේ ක්‍රිඩාංගනයට පැමිණ සිටියෙමු.
දසුන් ශානක සහ වනිඳු හසරංග පිටියට පැමිණියේ ගංජා ගසා දැයි තේරුම් ගත නොහැකි විය. දසුන් ශානක එක පන්දුවකි කඩුල්ල කුඩුවී ගියේය. වනිඳු හසරංග ඊලඟ පන්දුවේ දී තේරුම් ගත නොහැකි මන්ද බුද්ධිකයෙක් සේ පහර දෙන්නට ගොස් කඩුල්ල කුඩු කරගතතේය. රවී බිෂ්නෝයිගේ කඩුළු ත්‍රිත්වය බේරාගන්නට රමේෂ් මෙන්ඩිස්ට හැකි වීම පිළිබඳ ඔහුට ස්තුතිවන්ත විය යුතු වූයේය.
මේ අතිශය අසීරු මොහොතේ අනෙක් අන්තයේ ක්‍රිඩා කළ නායක චරිත් අසලංක අර්ෂදීප් සිං ගේ ෆුල්ටොස් පන්දුවකට සංජු සැම්සන් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.
කොණ්ඩ කපා කරාබු ගලවා දමා පිට්ටනියට එවු වෘෂභ පෝතකයින්ගේ දැන් කපන්නේ මොනවාදැයි සනත් ජයසූරිය කල්පනා නොකරනවා නම් පුදුමය. මේ ක්‍රිකට් ඒ තරම් වගකීම් රහිතය. ලැබෙන අත්දැකීම්වලින් කිසිවක් ඉගෙන නොගන්නා සුලුය. ඛේදවාකය එයය.
මුල් පෙළ ගෙදර තියා පැමිණි ඉන්දියානු කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකුවේ දූවිලි ගානටය.
යශස්වී ජයිස්වාල් පන්දු 15ක දී ලකුණු 30කි. සූර්ය කුමාර් යාදේව් පන්දු 12ක දී ලකුණු 26කි. හර්දික් පාණ්ඩ්‍යා නොදැවි පන්දු 09ක දී ලකුණු 22කි.
ලකුණු 78ක ඉලක්කය බේරා ගන්නට චරිත් අසලංක තෝරා ගත් අපේ අංක එකේ දඟ පන්දු යවන්නා තූ නොදකින් කියා හිතෙනා තරමට ගුටි කෑවේය. වනිඳු හසරංගගේ පන්දු ඕවර 2ට පමණක් ලකුණු 34කි. ඕවරයක සාමාන්‍ය ලකුණු 17කි. ලකුණු 6ක් යන පහරක් අසීරුවෙන් රැකගැනීම හේතුවෙන් ඔහුට කඩුල්ලක් ලැබිනි.
අත්දැකීම් බහුල බව කී දසුන් ශානක එක් ඕවරයක් යැව්වේය. කඩුළු නැත. ලකුණු 12කි.
මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 16කට කඩුල්ලක්, මතීෂ පතිරණ ලකුණු 18කට කඩුල්ලක් ලැබුවේය.
මේ පරාජය සිදුවන්නේ එහි නීරස අතාර්කිකත්වයේ ස්වරූපය තදින් සසඳා ගත හැකි අවස්ථවක ය. ඉන්දියානු කාන්තා කණ්ඩායම මෙතෙක් වෙන කිසිවෙකුට ගිලිහෙන්නට නොදී විස්සයි 20 ආසියානු කුසලානය රැකගත් ඉතිහාසයක් තිබිණි. ඒ ඉතිහාසය වෙනස් කර ඉන්දියානු කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය දිනාගත්තේ අද සවසය.
අද රාත්‍රියේම ඉන්දියානු පිරිමි කණ්ඩායමට ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමින් නිරුවත් වීම දෛවෝපගතය.
මුන්ට නොතේරෙන දෙය නම් ක්‍රිකට් යනු සෙල්ලමක් හෝ සූදුවක් නොව වගකීමක් බවය. ඒ වගකීම රටට සහ ජාතියටය. ක්‍රීඩකයෙකුට ජාතියට ඇති වගකීම සදහා වූ වගවීම කුමක්දැයි තේරුම් ගැනීමට මේ නාඹර මීමුන්ට වෙලාවක් සොයා ගත හැකි නම් එක දෙයක් කළ හැකිය.
අඩි පුඩි බඩු ගසා ඉවර වී වෙලාවක් තියනවා නම් මචං ගිහින් චමරිලා ගහන මැච් එකක් බලන්න…







