රටේ අතිශය වැදගත් ලේඛන සමුදායක් එක් රැස් කර තබන අධි ආරක්ෂිත ස්ථානයක්වන ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ අද (10) උදේ ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි රැස්වීම් ශාලාව ආසන්නයේ ගින්න හටගෙන ඇති බවය.
දුමක් මතුවීමක් පිළිබඳව ආයතනයේ විදුලි කාර්මික ශිල්පයෙක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සිය ප්‍රධානියාට දැනුම් දීමට උත්සාහ කරද්දී විශාල ශබ්දයක් සහිතව ශ්‍රවනාගාරය ඉදිරිපිට ඇති පැනල් බෝඩ් එක පිපිරී ගිය බව එ් සමග විශාල දුමකින් අවට වැසී ගිය බවත් එම විදුලි කාර්මිකයා මාධ්‍යයට පැවසුවේය.

ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩලයේ සේවකයින් මෙන්ම එම පුස්තකාල පරිශීලකයින් සියල්ල ද මේ වනවිට එම ස්ථානයෙන් පිටකර ඇත.
වායු සමීකරණ යන්ත්‍රයක් සහ ප්‍රලේඛන චිත්‍ර දෙක්ක ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවත් සිදුවී ඇත්තේ ඉතාම සුලු හානියක් බවත් ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා මාධ්‍යයට කීවේය.
“ලිපි ලේඛනවත්. රජයේ ගැසට්පත්රවත්, පුවත්පත්වත්, වෙනත් වාර්තාවක්වත්, මහජනයා පරිහරණය කරන කිසිමදේකට කිසිම හානියක් සිදුවී නැහැ. මා එය වගකීමෙන් සභාපතිවරයා ලෙස කියනවා”. ඔහු අවධාරණය කළේය.







