දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් පසුගිය 23 දා යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් විසි දෙදෙනා අතර ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකුද සිටින බව යාපනයේ ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
නාවික හමුදාව ඔවුන්ව අත් අඩංගුවට ගෙන යාපනයේ සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත බාර දීමෙන් පසුව යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙම කණ්ඩායම ජූලි මස දෙවනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය පිළිබඳව අධිකරණයට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් ධීවරයින්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටියදී ඉන් ධීවරයින් දෙදෙනෙක් ශ්‍රී ලාංකික ධීවරයින් බව හෙළි වී තිබේ.
කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රිකවල පදිංචිව සිට රැකියාවක් සොයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට ඔවුන් දෙදෙනා 2023 වසරේදී යාමෙන් පසුව එම ප්‍රදේශයේ බෝට්ටු හිමි ව්‍යාපාරිකයෙකු යටතේ මෙම ධීවර රස්සා හිමි වී තිබේ.
නීති විරෝධී ලෙස උතුරු මුහුදට ඔවුන්ගේ යාත්‍රාව පැමිණි අවස්ථාවේදී නාවික හමුදාව විසින් ධීවරයින් අත් අඩංගුවට ගත් විට ඔවුන් පැමිණි බෝට්ටු පහෙන් එක් බෝට්ටුවක මේ දෙදෙනාද සිට ඇත.
යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරින් ප්‍රකාශ කළේ ඔවුන් ඉන්දීය වීසා මත රැකියාවකට උතුරු ප්‍රදේශයට පැමිණි නිසා ඔවුන් දෙදෙනාට පමණක් වෙනම නීතියක් යටතේ කටයුතු කළ නොහැකි බවය.
මේ නිසා අත් අඩංගුවට ගත් ධීවරයින් පිරිසට යම් දිනක නිදහස ලැබීමෙන් පසුව ඔවුන් දෙදෙනාද අනෙක් ධීවරයින් සමග ආපසු ඉන්දියාවට යැවීමට සිදු වන බව එම නිලධාරීහු පැවසූහ.







