තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර විනය විරෝධීව කටයුතු කර ඇති හෙයින් එම විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කතානායකවරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත.
අධිකරණ ක්ෂේත්රයේ සිදුවී ඇති සාපර ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදී එම විනිසුරුවරුන් දෙදෙනා එම පර්යේෂණ ක්‍රියාවලිය කඩාකප්පල් කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද විජයදාස රාජපක්ෂ එම ලිපියෙන් දැනුම් දෙයි.
අධිකරණ ක්ෂේත්රයේ අනීතික ක්‍රියා හෙළිදරව් කර තිබියදී ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්ව තිබියදී තමාගේ එම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද්වේශ සහගතව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බව එම ලිපියෙන් පෙන්වා දෙන ඇමතිවරයා තමා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් පසු විනිසුරුවරුන් තිස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ ගැන තමාට ස්තුති කළ බවද සඳහන් කරයි.
ඉහත ප්‍රකාශ නිකුත් කර ඇත්තේ අධිකරණමය විෂය පථයේ කොටසක් ලෙස නොව පෞද්ගලික හෝ පෞද්ගලික මට්ටමින් ඇති කරගත් බැඳියාවක් මත වන හෙයින් එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක් බවද විජයදාස රාජපක්ෂ සඳහන් කරයි. (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න – ලංකාදීප)