ජයකාන්ත ලියනගේ – බළපිටිය –
මීට සති තුනකට පමණ පෙර අලුත්වැඩියා කරන ලද ඇල්පිටියේ යක්කටුව – මාපලගම පාරේ තණබද්දේගම හන්දියේ තිබු පැරණි මාර ගසක මුල පාරේ කොනක තිබිය දී මුල වටා කාපට් අතුරා අමුතු විදිහේ කාපට් කිරීමක් සිදුකර ඇති ආකාරය පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළකරමින් සිටිති.
මාර්ගයේ ඇත්කදුරේ සිට කිලෝමීටර් 10 ක් කාපට් කිරීමට රුපියල් ලක්ෂ 1400 ක් රජය විසින් ලබා දී ඇති බව පවසන ප්‍රදේශවාසීහු මේ දැක්වෙන්නේ මහජන මුදලින් සිදුකළ නල්ලමලේ කාර්පට් දැමීම සඳහා වූ උදාහරණයක් බව ඔවුහු පවසති.
තණබද්දේගම හන්දියේ පැරණි මාර ගසක මුලක් මැදි කර එය අගල් 06 ක් පමණ උසට පාරේ මතුපිටට තිබීයදීම මෙම කාපට් කිරීම සිදුකර තිබේ. යතුරු පැදි කරුවන් ඇතුලු වාහන රියදුරන්ට එය මරු කපොල්ලක් වී තිබෙන අයුරු මේ වන විට දැකිය හැකිය.
මහාමාර්ග අමාත්‍යාංශයට අයත් යක්කටුව මාපලගම ප්‍රධාන මාර්ගයේ නඩත්තු කටයුතු භාරව ඇත්තේ තල්ගස්වල මාර්ග වැඩ ඒකකයටය. එම ඒකකය විසින් මේ මාර්ගයේ කාපට් ඇතිරීම සිදු කරනු ලබන අතර ඒවා නිසි ප්‍රමිතියක් නැති බවද ප්රදේශවාසිහු පෙන්වා දෙති. ඇත්කදුරේ සිට කිලෝමීටර් 10 ක් දක්වා කාපට් ඇතිරීම සඳහා එක් කිලෝමීටරයකට මිලියන 14 ක් බැගින් රුපියල් මිලියන 140 ක් මහා මාර්ග අමාත්‍යාංශය මගින් අබලන් නොවු මීට සති 03 කට පෙර අලුත්වැඩියා කරන ලද මෙවැනි පාරවල් වලට වෙන්කර දීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසත් බොහෝ සෙයින් අබලන්ව ඇති පාරවල් සඳහා ඒ මුදල් වෙන්කර දෙන ලෙසත් ග්‍රාමීය ජනතාව ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් තල්ගස්වල මහාමාර්ග වැඩ ඒකකයේ විධායක ඉංජිනේරු විපුල වික්‍රමනායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.
ඔය කියන මාර්ගයේ කිලෝමීටර් 10 ක් සඳහා මිලියන 140 ක් වෙන්කර අළුත් වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගසක මුලක් ඉතිරි කර කාපට් දමා ඇත්නම් මම ඒ ගැන වහාම සොයා බලන්නම් යනුවෙන් ප්‍රකාශ කළේය.