දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ සිටි දෙමළ සරණාගතයෙකු මියගොස් ඇති බවට කදවුර බාර නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් කියමින් අදාල පුද්ගලයාගේ සුලු මවක් විසින් 17 දා මදුරාසී අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.
එම පෙත්සමේ සඳහන් කොට ඇත්තේ තවමත් ජීවතුන් අතර සිටින එම පුද්ගලයාව ට්‍රිචි විශේෂ සරණාගත කඳවුරේ සිට මදුරාසී කඳවුරට මාරු කර දීමට අධිකරණ නියෝගයක් නිකුත් කරණ ලෙසය.
හැටතුන් හැවිරිදි ඩී.නාගේස්වරී නැමති පෙත්සම්කාරිය කියා සිටින්නේ 1990 වසරේදී පී.ක්‍රිෂ්ණකුමාර් නැමති සිය ඥාති පුතණුවන් ඔවුන් සමග කිළිනොච්චිය අතහැර ඉන්දියාවට සරණාගතයින් වශයෙන් පලා ආ බවයි.
කදවුරු ගත කිරීමේදී මේ පිරිසට වෙන වෙනම කදවුවල ජීවත් වීමට සිදු වූ බවත් 2015 වසරේදී තම ඥාතී පුතා හදිසියේම අතුරුදහන් වීමෙන් පසුව ඔහු ගැන සොයා බැලීමේදී ඔහු මියගිය බවට ලිඛිත ලියවිල්ලක් තමන්ට මණ්ඩපම් සරණාගත කදවුරේ නිලධාරීන් විසින් බාර දුන් බව පෙත්සමේ සඳහන් කොට තිබේ.
නමුත් මේ වසරේදී ට්‍රිචී විශේෂ කදවුරේ රැඳී සිටි අයෙකු වෙනත් කදවුරකට මාරු කළ අවස්ථාවේදී මියගියේ යැයි කියන ක්‍රිෂ්ණකුමාර් එම කදවුරේ රඳවා ගෙන සිටින බව තමන්ට ප්‍රකාශ කළ බවත් ඔහුගේ ඡයාරූපය හා හඩ පටකීපයක් තමන් වෙත ලබා දී ඇති බවත් පෙත්සම්කාරිය සඳහන් කළාය.
එම හඩ පට වලින් කියැවෙන්නේ තමන්ව එහි රදවා ගෙන සිටින බවත් ට්‍රිචී කදවුරේ පහසුකම් නොමැති නිසා තමන් බොහෝ පීඩා විදින බවත් යැයිද පෙත්සම්කාරිය පවසයි.
එම විශේෂ කදවුරේ රඳවා තබන්නේ විශේෂ හා දරුණු ගණයේ අපරාධ වලට සම්බන්ධ පිරිස පමණක් බැවිනුත් තම ඥාතී පුත්‍රයා එවැනි වරදකට හසු නොවීම නිසාත් වහාම ඔහුව ට්‍රිචි විශේෂ සරණාගත කඳවුරේ සිට මදුරාසී කඳවුරට වෙත මාරු කරදෙන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.