දැනට දියත් වෙමින් අති විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ඇසීමට සූදානම් කර විපක්ෂ නායක කාර්යාලය වෙත යොමු කළ ප්‍රශ්නයම අනුර කුමාර දිසානායකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද පාර්ලිමේන්තුව තුළ හාස්‍ය ජනක තත්ත්වයක් ඇති කළේය.
අනධ්‍යන සේවක වර්ජනය ආවරණය වන ආකාරයට විස්තරයක් කරමින් විපක්ෂ නායකවරයා විසින් ප්‍රශ්න ගණනාවක් අධ්‍යාපන ඇමතිවරයා වෙත යොමු කළ පසු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය තමන්ගේ ප්‍රශ්නය ඇසීමට නැගී සිටියේය.
එවිට කථානායකවරයා පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමසන්නේත් විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයම බවත්, ප්‍රශ්න දෙකටම ඇමතිවරයා ඒකට පිළිතුරු දෙනවාදැයි දැනගන්නට කැමති බවත්ය.
අනතුරුව සංවාදය ඇදී ගියේ මෙසේය.
කතානායකවරයා – අනුර දිසානායක මහත්මයත් ඔය ප්‍රශ්නෙමයි අහන්නෙ. දෙකම ඒකට පිළිතුරු දෙනව ද?
අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත – නෑ ඒතුමාටත් එම ප්‍රශ්නය අහන්න කියමු
අනුර කුමාර දිසානායක – පොඩ්ඩක් ගරු කථානායක තුමනි. ඒ්ක වෙන්නේ කොහොමද කියලට මට පොඩ්ඩක් පැහැදිලි කරනව ද?. කවුරුහරි ප්‍රකාශයක් නිකුත් කළාම නැවත අවස්ථාවක් දෙන්නේ නෑ, කලින් (ප්‍රශ්නය) කවුද ඒවන්නේ පස්සෙ ( ප්‍රශ්නය) කවුද ඒවන්නේ කියලා මට මොකක් හරි පැහැදිලි කිරීමක් කතා නායක තුමා මට ඉදිරිපත් කරනව ද?. එකම ප්‍රශ්නය කොහොමද මේ එන්නේ.
(පාර්ලිමේන්තු මහලේකම්වරිය කතානායකවරයාට සිද්ධිය පැහැදිලි කරයි.)
කතානායකවරයා – දෙකම ඒවලා තියෙන්නේ විපක්ෂ නායක කාර්යාලයෙන් මන්ත්‍රී තුමා. විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය 11.40ට එවලා තියනවා. ඔබතුමාගේ ප්‍රශ්නය එවලා තියෙන්නේ 12.10ට. ප්‍රශ්න දෙකේම අන්තර්ගත කරුණු සුලු වෙනස්කම් තියන නිසා තමයි ප්‍රශ්න දෙකක් හැටියට දාලා තියෙන්නේ.
අනුර කුමාර දිසානායක – අපට ක්‍රමයක් නැද්ද විපක්ෂ නායක කාර්යාලයට ඒවන්නේ නැතිව මේක ( ප්‍රශ්නය) එවන්න.
(කථානායකවරයා සිනාසෙයි)
අනුර කුමාර දිසානායක – ඇත්තටම මම දැනගන්න කැමතියි.
කථානායකවරයා – ඔබතුමාගේ අභිමතය අනුව අපට කෙලින්ම එව්වත් ප්‍රශ්නයක් නෑ.
අනුර කුමාර දිසානායක – සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න ඒවන්නේ විපක්ෂ නායක කාර්යාලය හරහා. එහෙමයි ඔබතුමාට අපි ප්‍රශ්න ලැබෙන්න සලස්වන්නේ. ඔබතුමා මට කියනවා නම් කෙලින්ම මම ලේකම් තුමියට යොමු කරන්නම් මීට පස්සේ. ඒ්ක වඩාත් හොඳ වේවි කියලා මට හිතෙනවා.
මේක නිකම් පොඩි ළදරු ගේම් ඒකක් වගේ මට තේරෙන්නේ. අර චීප් වැඩ තියෙන්නේ. ( සිනාසෙමින්) පව්.. පව්… මානසිකත්වයට පව්.
කතානායකවරයා ( සිනාසෙමින්) – එහෙම එකක් නෙමෙයි…. අපේ ඇමති තුමා උත්තර දුන්නම ඕක ඔතනින් ඉවරයි.
අනුර කුමාර දිසානායක – හරි… මගෙ ප්‍රශ්නය ඉවර කරන්නම් කතානායක තුමනි. ඔවාගෙ වැඩ තියනවා අපි ඉස්කෝලෙ යන කාලේ ගරු කතා නායක තුමනි. බෝලෙ හංගනවා. අනික් අයට කලින් බැට් ඒක ගන්න ඔ්න කියලා හිතනවා. කලින් බැට් කරන්නෙ කවුද කියලා වගේ පොඩි පොඩි ගේම් තියනවා.
(සිනාසෙමින් ) පව්…
පසුව අනුර කුමාර දිසානායකත් විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයට අන්තර්ගතය සමාන සිය ප්‍රශ්නය ඇසුවේය.







