ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ වැඩිම අවධානයට ලක් වී ඇති ඉන්දු පකිස්ථාන තරගයට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ලබා දී ඇති ආරක්ෂාව තීව්ර කිරීමට කටයුතු කරන බව නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුකාර කැතී හොන්චුල් X හි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ විස්සයි 20 ලෝක කුසලානයට සහභාගීවන පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ෆෙඩරල් සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සමග කටයුතු කරමින් සිටින බවත් මේ අවස්ථාව වනවිට විශ්වාස කළ හැකි තර්ජනයක් නොමැති බවත්ය.
කෙසේ වෙතත් නව් යෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තරගාවලියට හා නිව්යෝක්හි පැවැත්වෙන ඊට සම්බන්ධ ඉසව්වලට අන්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදීමට හැකි අවස්ථාවන් හඳුනාගෙන ඇති බව ABC පුවත් සේවය වාර්තා කරන්නේය. විශේෂයෙන් එළඹෙන ඉන්දියා – පකිස්ථාන තරගය සඳහා ඉහළ ආරක්ෂාවක් අවශ්‍ය වන අකාරය සම්බන්ධව එම පොලිස් නිවේදනය උපුටා දක්වමින් ABC පුවත් සේවය වාර්තා කර ඇත.
නසාවු ප්‍රාන්ත පොලිස් කොමසාරිස් පැට්රික් රයිඩර් පැවසා ඇත්තේ විස්සයි 20 ලෝක කුසලානයට සුගිය අප්‍රේල් මාසයේ දී ISIS-K සම්බන්ධ තර්ජනයක් සම්බන්ධ තොරතුරක් ලැබුණු බවත්, ඉන්දියා පාකිස්තාන තරගය සම්බන්ධයෙන් වඩාත් නිශ්චිත තර්ජනත් එල්ල වී ඇති බවත්ය.
නොසන්සුන් දේශපාලන සබඳතා හේතුවෙන් වසර කිහිපයකින් ද්විපාර්ශ්වික තරඟාවලියක් ක්‍රීඩා නොකළ ඉන්දියාව සහ පාකිස්තානය අතර ලෝක කුසලාන තරඟ ලෝකයේ වැඩිම ක්‍රිකට් ලෝලීන් පිරිසක් නරඹන ක්‍රීඩා ඉසව් අතර වේ.
ඉන්දු-පකිස්තාන තරගය ජුනි 9 වනදා නිව් යෝර්ක් හි නසාවු ප්‍රාන්තයේ අයිසන්හවර් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.







