<h4><strong>මනම්පිටිය නිමල් ජයරත්න</strong></h4> <h4><strong>පොලොන්නරුව මහ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරු හතළිස්තුන්දෙනාගෙන් තිදෙනෙකුත්, සාමාන්‍ය වෛද්‍යවරුන් පස්දෙනෙකුත් මේ වන විට රට හැරගොස් ඇති බවත්, ඉදිරියේදී විභාගවලට මුහුණ දීමට නියමිත වෛද්‍යවරුන් පනස්දෙනෙකුත් රට හැරයෑමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොළොන්නරු දිස්ත්‍රික් සම්බන්ධීකාරක සංජීව අමරසිංහ පැවසීය.</strong> පොලොන්නරුව වකුගඩු රෝහල සඳහා විශේෂඥ වෛද්‍යවරුන් දහයකගේ අවශ්‍යතාවය පැවතියද මේ වනවිට එහි සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනකු පමණක් බවද අමරසිංහ මහතා කීවේය. පොළොන්නරුව මහ රෝහලේදි පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමරසිංහ මහතා එම කරුණු අනාවරණය කළේය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ පොළොන්නරු දිස්ත්‍රික් සම්බන්ධීකාරක සංජීව අමරසිංහ මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී තවදුරටත් මෙලෙස කරුණු අනාවරණය කළේය. පොළොන්නරුව මහ රෝහල විශේෂඥ වෛද්‍යවරුන් හතළිස්තුනක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 235 කගේ සේවය ලබනවා, ඉන් ළමා රෝග, විකිරණවේදී සහ ප්ලාස්ටික් සැත්කම් සිදුකරන විශේෂඥ වෛද්‍යවරු තිදෙනකු, රටේ අර්බුදකාරී තත්ත්වය හමුවේ රට හැර ගොස් තිබෙනවා. පවතින තත්ත්වය අනුව පොළොන්නරුව මහ රෝහලේ වගේම පර්යන්ත රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාව පුළුල් කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා, නමුත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාව තුළ නැහැ. ඔවුන් රට හැර යමින් පවතිනවා. වෛද්‍යවරුන් රටහැර යෑමට ප්‍රධානම හේතුව තමයි දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට වැටුප් ප්‍රමාණවත් නොවීම. ඒ වගේම වෛද්‍යවරුන්ට ලැබෙන වැටුපෙන් අධික ලෙස බදු අයකිරිම. ලක්ෂ දෙකක් වැටුප් ලබන වෛද්‍යවරයෙකුගෙන් රුපියල් 30,000 පමණ මුදලක් බදු වශයෙන් අය කරනවා, රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙනයාමේදී, පවතින ඖෂධ ගැටළු, ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා අපි මහත් අපහසුතාවට පත්ව සිටිනවා. අපි තමයි රෝගීන් සමග නිතර ගැටෙන්නෙ. අපි රෝගීන් ළඟට ගිහිල්ලා මේ ඖෂධ බාහිරින් ගන්න කියද්දී අපි කණගාටුවට පත්වෙනවා. රෝගින් අපහසුතාවට පත්වෙනවා. එතකොට ඒ රෝගීන් බාහිරින් ඖෂධ නොගැනීම නිසා රෝගීන් මියයන තත්ත්වයට පත්වෙලා තියෙනවා. බෝනොවන රෝග අධික ලෙස වැඩිවෙලා තියෙනවා. ඒ වගේම බාල ඖෂධ ගෙන්වා රෝගීන්ට ලබාදීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි බිඳ වැටීමකට ලක්වෙලා තිබෙනවා. සීතල කාමරවල ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා. සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් නිලධාරීන් මේවා දන්නෑ. මේ තත්ත්වයට අපි තමයි මූණ දෙන්නෙ. අපි ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු අදාළ වගකිව යුත්තන්ගෙන් මෙම සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළුවලට ඉතා කඩිනම් විසඳුම් ලබාදෙන්න කියලා.</h4>