හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සහ කප ගෙන ඒම අද (16) අලුයම මාවනැල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ දී සිදුවිය.
මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුවිය.
මහනුවර දී සිදුකරන කප් සිටුවීම සඳහා කප සූදානම් කිරිමේ කාර්යයභාරය අලුත්නුවර විෂ්ණු දේවාලයට පැවරී තිබේ. ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටන ඵල නොදැරූ පනස වෘක්ෂයක් එනම් ළපටි කොස් ගසක් මේ වෙනුවෙන් වෙන් කර ගනිති.
තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවද පැනින් නාවා, සුවද දුම් අල්වා පෙරවරු පහ පසුවී මිනිත්තු දහයට යොදුණු සුභ මූර්තියෙන් ගස දකුණු දිශාවට වැටෙන සේ කපා හෙළීම සිදුවිය.
මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙන ලදි.
අනතුරුව සකස් කරන ලද එම කප සුදු රෙදි කඩින් ඔතා සුදු උඩු වියන් සහිත මහ පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් ගෙන ඒම සිදුකෙරිණි.
මියන්රාජා හස්තියා මතින් කප රැගෙන පැමිණි අතර සිංහ රාජා සහ සුරනිලමල හස්ථියා දෑලේ පැමිණියහ .
විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ , මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ , අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි බණ්ඩාර කරුණාරත්න ද මේ අවස්ථාවට එක්විය.







