එස්. ගමගේ – වැල්ලම්පිටිය –
මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ බිළිඳු මළ සිරුරක් මහමග දමා ගොස් තිබුණු කාන්තාව සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
කැලණිමුල්ල ප්‍රදේශයේ, වීදියබණ්ඩාර මාවතේ මාර්ගය අයිනේ තිබුණු මෙම බිළිඳු මළ සිරුර මුල්ලේරියාව පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබුණේ අද (අගෝ. 9) දහවල් කාලයේදී ය.
ඒ, ප්‍රදේශ වාසීන් කළ දැනුම් දීමක් අනුව ය.
අනතුරුව, මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.
එහිදී බිළිඳු මළ සිරුර ආසන්නයේ කුඩා ලේ පැල්ලම් දැක ගැනීමට හැකිව ඇති අතර පොලිස් නිලධාරීන් එම ලේ පැල්ලම් ඔස්සේ කිලෝමීටර් භාගයක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව අංගම්මාරුව නැමති ගම්මානයේ නිවසක් අසලට පැමිණ තිබේ.
අදාළ නිවස සෝදිසි කිරීමේදී එහි කාමරයක් තුළ අසාධ්‍ය තත්ත්වයෙන් කෙඳිරිගාමින් සිට ඇති කාන්තාවක හමු වී තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ, පෙරේදා රාත්‍රියේ ඇය විසින් ප්‍රසූත කරන ලද බිළිඳා මෙලෙස මාර්ගය අයිනට ගෙනවිත් දමා ඇති බව ය.
ඒ අනුව, කාන්තා පොලිස් නිලධාරීන් පිරිසක් විසින් 26 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පොලිසිය ඇයගේ සැමියාගෙන් ද වැඩිදුර ප්‍රශ්න කර ගෙන යනු ලබ යි.
අඅධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදු කරනු ලැබ ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණය ද අද සවස සිදු කිරීමට නියමිතව තිබිණි. – මව්බිම







