දිනසේන රතුගමගේ
යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයේ පැවති වස් ආරාධනා පින්කමට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF ) දේශපාලනඥයන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් 1 දා විරෝධය පල කොට තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වතුරේ ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා හා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් ගම්වාසීන්ගේද සහාය ඇතිව විහාරස්ථානයට යන මාර්ගය අවහිර කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයක් ක්‍රියාත්මක කළහ.
මේ අවස්ථාවේදී පොලිසිය ඔවුන්ව ඉවත් කිරීම නිසා ඔවුන් තිස්ස විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට බිම වාඩි වී උපවාසයක් ආරම්භ කළහ.
වස් ආරාධනා පින්කමට බැතිමතුන් එම විහාරස්ථානයට යන විට උපවාසකරුවෝ කෑ කෝ ගසමින් කියා සිටියේ කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරය නීති විරෝධී ඉදි කිරීමක් නිසා වහාම එය ඉවත් කර ගත යුතු බවයි.
එම විහාරස්ථනයට පොලිස් ආරක්ෂාව සපයා දීමද නීති විරෝධී බව පැවසූ විරෝධතාකරුවෝ සාධාරණ විරෝධයකට ඉදිරිපත් වී සිටින පිරිසක් පොලිසිය විසින් පලවා හැරීමද නීති විරෝධී බව කියා සිටියහ.
විරෝධතාකරුවෝ ප්‍රකාශ කරන්නේ එම විහාරස්ථනය ඉදි කොට ඇත්තේ යාපනයේ වැසියන් කීප දෙනෙකුට අයත් පෞද්ගලික ඉඩම්වල බවයි.
මේ නිසා එම ඉඩම භාර දී විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරු මේ වන විට පාර්ලිමේන්තුව තුළද හඬක් නගා තිබේ.







