නියඟය නිසා වගා හානිවූ ගොවියන්ට සහනලබාදීමටත් තමන් වගේම ශ්රීලංකා පොදුජන පෙරමුණ මැදිහත්වන බව හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසුවේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීමේදීය. මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කීවේ තමන් ඕනෑම වෙලාවක කොන්දේසි විරහිතව ජනතාව වෙනුවෙන් පෙනී සිටිනා බවය.
“.පසුගිය කාලෙ අස්වැසුම ගැන ප්රශ්නයක් ආවා. අප මන්ත්රී කණ්ඩායම ඒ ප්රශ්නෙට මැදිහත් උනා. අද නැවත වතාවක් එය සමාලෝචනය කිරීමට කටයුතු කරනවා. අපි බලාගෙන ඉන්නවා පක්ෂයක් විදිහට එය ඒ ආකාරයෙන් සිද්ධ වෙනවද නැද්ද කියන කාරණය.
වී මිලදී ගැනීම ආරම්භ වෙලා තිබුනත් ලැබෙන මිල ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මන්ත්රීවරු කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැනත් කතා කළා.
නියඟය තියෙන පලාත් තියෙනවා ඒ පළාත්වල වතුර ලබාදීම පිලිබදව ප්රශ්නයක් තියෙනවා. එහෙමනම් වගා හානියක් වෙනවනම් නියඟයක් නිසා ගොවියන්ට දෙන සාධාරණය මොකක්ක්ද කියන එකට ආණ්ඩුවේ අවධානය යොමුකළ යුතුයි.
නියඟය නිසා වගා හානිවෙන ගොවියන්ට ලබාදීමට හැකි සහන පිලිබඳව අපි මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී කතා කරනවා. ඒ පිලිබදව අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි.







