ඉන්දියාවේ රෝහල් පුරාවට රුධිරය හා වෛද්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානාවක් නිර්මාණය කිරීමට ශ්‍රී නගර් හි පදිංචිකරුවෙකු වන අබාන් හබීබ් සමත් වී තිබේ. දුරස්ථභාවය නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාරවලට බාධා පමුණුවන බැවින් ඊට කාලෝචිත විසඳුමක් ලබා දීම සඳහා ඔහු මෙම යානාව නිර්මාණය කර ඇත.
ස්වභාවික විපත්වලට ගොදුරුවන ප්‍රදේශවල ගණන් කළ නොහැකි තරම් ජිවිත බේරා ගැනීමට හා සෞඛ්‍ය ආරක්ෂණ ප්රවේශයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන අබාන් මෙම නිර්මාණය කර තිබෙන්නේ වසර ගණනාවක් මහන්සි වීමෙන් පසුවය.
“2014 විනාශකාරී ගංවතුරේදී, රෝහල් අතර රුධිර සම්පල ප්‍රවාහනය කිරීම ගැටළුවක් වුණා කියලා මම දැක්කා.. එදා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕන කියලා මම හිතුවා..”
සිය නිර්මාණය සඳහා හේතු වූ කාරණාව පහදමින් අබාන් Devdiscourse වෙබ් අඩවියට පවසා තිබිණි.
දශක භාගයක පමණ කාලයක් පුරා කැපවී සිදු කළ නිර්මාණයේ මූලික පරීක්ෂණ හිමාචල් ප්‍රදේශ්හි දී සිදු කර තිබූ අතර එහිදී කිලෝමීටර් 70කට වැඩි දුරක් ආවරණය කරමින් ප්‍රධාන රෝහල් සමඟ චන්ද්‍රිකා රෝහල් 20-25ක් සම්බන්ධ කරමින් ඩ්‍රෝන යානය රුධිරය බෙදා හැරියේය. යානාව පැයට කිලෝමීටර් 80ක පමණ වේගයකින් ගමන් කිරීමට ද සමත් විය.
මෙම යානාව ගමන් කරවීමට රාජ්‍ය පාලන ගැටළු මතු වී තිබුණත් හිමාචල් හි සිදු කළ පර්යේෂණ ධාවනයෙන් පසුව කාශ්මීරයෙත් මෙය භාවිතා කිරීමට අවසර ලැබෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.







