දිනසේන රතුගමගේ
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කරගෙන තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000 ක් ඔවුන්ගේ බාරයෙන් නිදහස් කොට ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියලු පාර්ශ්වයන් වෙත දැනුම් දීමක් කොට තිබේ.
මුලතිව් දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාම නිලධාරීවරු හා පළාතේ මහජන සංවිධානවල නියෝජිතයන් ප්‍රකාශ කොට සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලතිව් ජනතාවට අයත් ඉඩම් අක්කර ලක්ෂයක් පමණ බලහත්කාරයෙන් සීමා මායිම් යොදා ගෙන ඔවුන් විසින් අත්පත් කරගෙන සිටින බවයි.
මේ පිළිබඳ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසුව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවකින් පසුව එම ඉඩම් නිදහස් කරන ලෙස නියෝග ලැබී තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ කරදියන්පත්තු, පුදුකුඩිඉරිප්පු, ඔටුසුට්ටාන්, තුනුකායි, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන පළාත්වල ඉඩම් මේ අන්දමට නිදහස් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව ස්ථාපිත කොට ඇති ඉඩම් සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කමිටුවට මුලතිව් ජනතාව පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ මෙසේ නිදහස් කෙරෙන ඉඩම් අක්කර 29000 ට අමතරව තවත් ඉඩම් අක්කර 17000 ක භූමි ප්‍රමාණයක් ගොවීන්ට වගා කිරීම වන සංරක්ෂ නිලධාරීන් විසින් තහනම් කොට ඇති බවයි.







