අනුරාධපුර . පර්සි කුරුනේරු –
යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට ආසන්නවීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිල දරාගත නොහැකි තරමට පහළ බැසීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්.පුංචිරාල පැවසීය.
මේ වනවිට දිස්ත්‍රික්කයේ අහස් දියෙන් පෝෂණය වන කුඩා වැව් යටතේ වී වගා කළ ගොවීන් විසින් තම වී අස්වනු නෙළීම ආරම්භ කිරීමත් සමග මෙසේ වී මිල පහළ යාමට හේතුවී ඇති බවද හෙතෙම කීවේය.
මේ අනුව තෙත බර සහිත නාඩු වී කිලෝවක් රුපියල් 65.00 බැගින්ද සහ වී හොදින් වියලන ලද වී කිලෝවක් රුපියල් 75.00 සිට රුපියල් 80.00 ත් අතර මිල ගණන් වලට පෞද්ගලික වෙළෙදුන් ගොවීන්ගේ නිවෙස්වලටම පැමිණ මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ආර්.ඇම්.පුංචිරාල කීය.
ආණ්ඩුව ප්ර්රාදේශීය මට්ටමින් ගබඩා විවෘත කොට වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 95.00 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව මාධ්‍ය මගින් පුරසාරම් දෙඩුවත් එය එය මහ පොළොවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද හෙතෙම පැවැසීය.
වර්තමානයේ රසායනික පොහොර මිල ,කම්කරු කුලිය හා යාන්ත්‍රික කුලිය දරා ගත නොහැකි ලෙස ඉහළයාම නිසා ගොවියෙකුට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් 100.00 ත් 110 අතර මුදලක් වැයවන බවත් ඒ අනුව ගොවීන්ට වී කිලෝවක සහතික මිල රුපියල් 120.00 හෝ 130.00 ක් වත් කළ යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්.පුංචිරාල වැඩිදුරටත් සදහන් කළේය.







