ජයකාන්ත ලියනගේ –
අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දීමට විරෝධය දක්වමින් විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් අද (20) දිනයේදී අනුගමනය කළේය.
මේ හේතුවෙන් අද (20) දිනයේ විදුහල සාමාන්‍ය පරිදි නොපැවැත්වුන අතර විදුහල අවට පැවතියේ පාළු ස්වභාවයකි.
විදුහලේ 152 ක් වන ගුරුවරුන් අතුරින් අද (20) පාසැල් පැමිණ සිටියේ 05 දෙනෙක් පමණක් වන අතර 26 ක් වන අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පාසැල් පැමිණ සිටියේ දෙදෙනෙකි.
විදුහලේ සමස්ථ සිසු සිසුවියන් සංඛ්‍යාව 3500 කි. එයින් අද (20) දිනයේ පාසැල් පැමිණ සිටියේ සිසු සිසුවියන් 200 කටත් අඩු පිරිසකි. ඔවුන්ද වට්ස්ඇප් පණිවුඩ මාර්ග ඔස්සේ පෙ.ව 8.00 වන විට දෙමාපියන්ට දන්වා ආපසු නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිබුණි.
මෙයට අමතරව අද (20) පෙරවරුවේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණ පරීක්ෂණයක් පවත්වන ලද බවද දේවානන්ද විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
විදුහල්පති ජනක පේදුරුහේවාට විදුහල්පති නිල කාමරය තුළදී ඊයේ (19) පෙරවරුවේ විද්‍යාලයීය සිසුවෙකුගේ පියෙකු විසින් පහර දුන් බව කියන සිද්ධියට විරෝධය දක්වා විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියා මාර්ගය ගෙන තිබුණි.
විදුහල තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් විදුහල තුළ තමන්ගේ ආරක්ෂාව සලසන තෙක් වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
පහර කෑමට ලක් වූ විදුහල්පති ජනක පේදරුහේවා මේ වන විට බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. විදුහල්පතිවරයාගේ මුහුණේ හා බෙල්ලේ තැලීම් තුවාල තිබෙන බවද බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.
විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටලුවක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
සැකකරුගේ පුතා විදුහලේ බැට්මින්ටන් හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් දෙකේම නිරතව සිටින බවත් ආර්ථික හා සෞඛ්‍යය හේතුවක් මත බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල තරගාවලියක් අතහැර දැමීමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් ආරවුල නිර්මාණය වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවතිවයි.







