ජයකාන්ත ලියනගේ – බළපිටිය
අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට විදුහල්පති නිල කාමරය තුළදී අද (19) පෙරවරුවේ පහර දුන් බව කියන අයෙකු අද දහවල් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙට (20) බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පන්සල පාර, හෑගල්ල, කොස්ගොඩ ලිපිනයේ පදිංචි විජේමුණි චතුර මිහිරාජ් ද සොයිසා (44) නැමැති අයෙකි.
තමා, අද (19) පෙරවරුවේ සිය නිල රාජකාරි කාර්යාලයේ රාජකාරි කටයුතු කරමින් සිටියදී බැණ තර්ජනය කරමින් පැමිණි අයෙකු තමාට පහර දුන්නේ යැයි අම්බලන්ගොඩ, දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා පෙරවරුවේම අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබුණි.
පෙරවරු 9.00 – 10.00 ත් අතර මෙම පහරදීම සිදුකල බවද විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.
විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටලුවක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. විදුහල්පතිවරයාට පහරදුන් පුද්ගලයාගේ පුතා විදුහලේ බැට්මින්ටන් හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් දෙකේම නිරතව සිටින බවත් ආර්ථික අර්බුද හේතුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහැර දැමීමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් මීට අදාල ආරවුල නිර්මාණය වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
බැට්මින්ටන් ක්‍රීඩාව බාර ගුරුවරයෙකු විසින් සැකකරුගේ පුතාට පහර දීමක් සිදුකළ බවට සැකකරු ප්‍රකාශ කරන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පහර කෑමට ලක් වූ බව කියන සැකකරුගේ පුතා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද සැකකරු විසින් අම්බලන්ගොඩ පොලීසියට ප්‍රකාශ කර තිබේ.
අදාල ගුරුවරයා විසින් සැකකරුගේ පුතාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පියවර නොගත්තේ යැයි සදහන් කරමින් සැකකරු විසින් මෙම පහර දීම සිදුකර තිබෙන බවද මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකි විය.
විදුහලේ ආරක්ෂාව සදහා යොදවා ඇති ආරක්ෂක නිලධාරියාට බැණ තර්ජනය කර හා පහර දීමට උත්සාහ කරමින් සැකකරු විදුහල් භූමියට ඇතුල් වී තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.
විදුහල්පතිවරයාට පහර දීම සිදුකල පුද්ගලයා මෙසේ ප්‍රකාශ කලද විදුහල්පතිවරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා ලෙස නිසි පියවර ගෙන තිබෙන බවද විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු සිද්ධියට අදාල සියල්ලන් වෙන වෙනම කැදවා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සදහන් කළේය.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







