සාකච්ඡා කර සකස් කළේ
ශ්‍රියානි විජේසිංහ –
පිළිකාවක් සුව කිරීමට බෙහෙත් නැත. එවැනි පසුබිමක පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායක් සමත්ව සිටිති. නියත මරණයේ මහා අන්ධකාරය අසල බලාපොරොත්තුවේ පහන් එළියක් දැල්වෙමින් තිබේ. ඒ ආලෝකයේ අභිමානය ලොවෙහි පතල වන්නේ ශ්‍රී ලාංකේය අභිමානයත් සමගය.
වසර 12ට අධික කාලයක් පුරා දේශීය ශාක සහ ශාක සාර උපයෝගි කර ගනිමින් කරන ලද මෙම පරේයේෂණය මේ වන විට සාර්ථක ප්‍රතිපල පෙන්වමින් තිබේ. මිනිස් සිරුරේ ගුදය, පෙනහලු, පියයුරු ඇතුලු ඕනෑම ස්ථානයක වැඩෙන අසාමාන්‍ය පිළිකා පියවි සෛලයන් විනාශ කිරීමේ හැකියාවක් මෙම නව පෝෂක ඖෂධය සතු වන්නේය. මෙම නව සොයා ගැනීම පිලිබදව මහාචාර්ය සමීර ආර් සමරකෝන් සමග ලංකාසර විශේෂ සංවාදයක නිරත වුනේය. මේ ඔහු අපට කී කතාවය.

“ මේ පර්යේෂණයට මට ආයුර්වේද වෛද්‍යවරුන්, බටහිර වෛද්‍යවරුන්, පර්යේෂකයින් ඇතුළු විශාල පිරිසක් සහය දැක්වුවා . අපිට මේ පර්යේෂණය කරන්න වසර 12ට අධික කාලයක් ගතවුණා. අපි මුලින්ම කළේ දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් භාවිත කල ඖෂධීය ශාක සහ ශාක සාර පිළිබදව පුළුල්ව පර්යේෂණ සිදු කිරීම. ඊට පසුව ඒ ඖෂධ මිනිස් සිරුරට හානිදායක නොවන බව තහවුරු කර ගැනීම.
අනතුරුව අපි විවිධ ශාකමය සංයෝගයන් අත්හදා බලලා පියවි පිළිකා සෛලවලට යොදා ගත්තා. පිළිකා රෝගීන්ගෙන් ලබා ගත් පිලිකා සෛල විද්‍යාගාරයක් තුළ වගා කරලා මෙම ඖෂධය යෙදුවා. එතැනදී අපි දැක්කා මේ ඖෂධය මගින් පිළිකා පියවි සෛලයන් විනාශ වෙනවා. ”
ජීවී සෛල ඇතිවී නැතිවී යන අතර ඒවායේ සමබරතාවක් පවත්වාගෙන යාම නිරෝගි මිනිස් සිරුරක ස්භාවය වන්නේය. නමුත් සෛලයක් විනාශ නොවී අසාමන්‍ය වර්ධනයක් සිදුවන්නේ නම් එය පිළිකාමය තත්ත්වයක් බවත් එය අසාමාන්‍ය සෛල වර්ධනයක් සිදුවෙන ස්ථානයෙන් ගෙඩියක් ලෙස සිරුරෙන් පිටතට දිස්වීම දක්නට ලැබෙන බවත් මහාචාර්යවරයා සදහන් කරන්නේය.
මහාචාර්ය සමීර මේ තත්ත්වය වඩාත් පැහැදිළි කළේය.
“ අපේ ඇඟේ ජාන 19000ක් පමණ තිබෙනවා. මෙයින් වෙනස් වෙනස් ප්‍රෝටීන් 90000ක් විතර හදනවා. පිළිකාව කියන්නේ එක ජානයක හෝ ජාන කීපයක හදන ප්‍රෝටීන්වල විකෘතියක්. මෙයින් කරන්නේ සෛල මැරෙන වේගය අඩුකරලා සෛල බෙදීම වේගවත් කිරීමයි. අවසානයේදී ගෙඩියක් ලෙස සිරුරෙන් එළියට එනවා. අසාමාන්‍ය ගැටිත්තක්, තදට දැනෙන ගෙඩියක් ලෙස අප ඇතැම් විට දකින්නේ මෙන්න මේ කියන පිළිකාමය තත්ත්යවක්.”
පිලිකා රෝගියෙකුගේ පිළිකාමය ගෙඩිය සැත්කමක් මගින් ඉවත් කර අනතුරුව පිළිකා පියවි සෛල ඇත්නම් ඒවාද විනාශ කිරීම සදහා රසායනික ප්‍රතිකාර (කීමෝතෙරපි) හෝ විකිරණ ප්‍රතිකාරයන් ලබාදේ. මෙහිදී මෙම ප්‍රතිකාර ක්‍රම දෙකමට හසුනොවී පැවතිය හැකි පිළිකා පියවි සෛල තවදුරටත් පවතින අවස්ථාවන් තිබේ. මෙසේ පවතින පියවි පිළිකා සෛලයන් මගින් නැවත පිළිකාව ඇතිවේ. රසායනිකා ප්‍රතිකාර මගින් හෝ විකිරණ ප්‍රතිකාරයන් මගින් සියලුම පිළිකා පියවි සෛලයන් විනාශ ව්න්නේ නම් එවැනි පුද්ගලයින්ට නැවත පිළිකාවක් සෑදීමට තිබෙන ඉඩකට අල්පය විය හැකිය. නමුත් ඇතැමුන්ට නැවත පිළිකාව හටගනී. එයට හේතුව වන්නේ ප්‍රතිකාරයන්ට හසුනොවී ඉතිරි වූ පිළිකා පියවි සෛලයන් නැවත මතුවීමය.
මහාචාර්යවරයාගේ නවතම ඖෂධීය පෝෂකය මගින් සිදුරනුයේ මෙම පියවි පිළිකා සෛල මුළුමනින්ම විනාශ කිරීමය. මෙම ඖෂධීය පෝෂකය අතුරු ආබාධ කිසිවක් ඇති නොකිරිමද විශේෂයකි. අපිට ආවේනික වූ අපේම ඖෂධීය ශාක සහ ශාක සාර මිනිස් සිරුරට හානියක් සිදු නොකරන බව ආයුර්වේදය තුළ සඳහන් වේ.
මෙම පෝෂක ඖෂධය පිළිකාව වැලදී සුව වූවන්ට, පිළිකාවක් වැලදීමේ පවුල් ඉතිහාසයන් පවතින සාමාජිකයින්ට ගත හැකිය. මේ සදහා විශාල මුදලක් වැය නොවන බවද මහාචාර්ය සමීර පෙන්වාදේ.
මෙම නව පෝෂක ඖෂධය මේ වන විට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ඇත. මෙය බටහිර ඖෂධයක් ලෙස භාවිතයට ගැනීම සදහා අවශ්‍ය සායනික පරික්ෂණ අවසන්ව ඇත. මේ සදහා ජාතික ඖෂධ අධිකාරියේ අවසර ලබාගැනීම සදහා තවත් කාලයක් ගතවෙනු ඇති බව මහාචාර්යවරයා පවසා සිටියි.
කෙසේ නමුත් ලොව පුරා බටහිර ඖෂධයක් ලෙස යම් ඖෂධයක් භාවිතය ගැනෙන්නේ නම් ඒ සදහා නිමකල යුතු නිසි ක්‍රමවේද පටිපාටියක් පවතී. මේ වන විට මහාචාර්යවරයා ප්රමුඛ කණ්ඩායම එම ක්‍රමවේදය ට අනුගතවිමට අවශ්‍ය කටයුතු කරමින් පවතින්නේය.
ඒ සදහා තවත් වසර ගණනාවක්ම ගතවනු ඇත.







