පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සිව් නිවුන් දරු උපතක් වාර්තා වේ. පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැණු දරුවෙකුට උපත දුන් මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපත සිදුකළේ කුරුණෑගල පදිංචි එල්. ඒ. ටී. ඩී ලංසක්කාර නැමැති 32 හැවිරිදි මවකි.
කුරුණෑගල රෝහලට මූලික සායන සඳහා සහභාගි වූ ඇය විවිධ සංකූලතා සහ දරු උපතේ දී ඇතිවිය හැකි යැයි අනුමාන කරන අවදානම් තත්ත්වයන් හේතුකොට ගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරත්න වෙත පැමිණ සිටියේ මීට මාස හතරකට පමණ පෙර සිටය.

දරුවන් සිව් දෙනාගෙන් දරුවන් දෙදෙනෙක් දින හතක් පුරා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවජන්ම ළමා විශේෂ ප්‍රතිකාර ඒකකයේ ළමාරෝග විශේෂඥ පැතුම් දිසානායක ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
“මේ වන විට දරුවන් දෙදෙනා මව වෙත ලබාදී තිබෙනවා. දරුවන් සිව් දෙනා සමඟ මව මේ වන විට ඉතාමත් නිරෝගී තත්ත්වයේ පසුවන බව ප්‍රකාශ කළ හැකියි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ නිරෝගී භාවය පිළිබඳව ඉදිරි දින කිහිපයක් වෛද්‍ය අවධානය මත රඳවා තබා නිවෙස් කරා යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.”
“වයස අවුරුදු 32 ක පමණ වන මවට දරුවන් සිවුදෙනා සඳහා මව්කිරි ලබාදීම ප්‍රමාණවත් නොවන බැවින් එම දරුවන්ට අමතර කිරි ලබා දීමට සිදු වනු ඇති බවට වෛද්‍ය නිර්දේශයන් ලැබී තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරත්න පවසයි.







