යම් සැකකරුවෙකු වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීම කිසිසේත් වෘත්තීය සදාචාරය කඩකිරීමක් නොවන බවත් එය නීතියට හා වෘත්තීය සදාචාරයට එකඟව සිදු කරන්නක් බවත් නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
පසුගිය දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ එම සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ පියාගේ ඉල්ලීම මත බවයි. සිය පුතු පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර ඝාතනයට ලක් වේ යැයි ඔහුගේ පියා බියෙන් සිටි බැවින් සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සැකකරු වෙනුවෙන් පෙනී සිටි බවත් සාලිය පීරිස් මහතා පවසා තිබේ.
මින් පෙර ද පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනයට ලක් වුණු අවස්ථා තිබෙන බවත්, මේවා අපේ පොලීසියට හා රටේ මානව හිමිකම් වාර්තාවට විශාල කැළලක් ඇති කරන බවත් ඔහු පෙන්වා දෙයි. එලෙසම මෙවන් ඝාතන වෙනත් පුද්ගලයින් සම්බන්ධ සාක්ෂි සැඟවීමේ අරමුණින් සිදු කරන ඒවා වන බව ද ඔහු පැවසීය.
ඒම පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට ඒලඹ ඇති සාලිය පීරිස් මහතා ඒහිදී තවදුරටත් මෙසේද පැවසීය.
“‘එන්කවුන්ටර් කිලින්ග්’ විදියටත් හඳුන්වන, අත්අඩංගුවේ පසුවෙද්දී සිදුවෙන ඝාතන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම දැඩි ලෙස හෙළා දැක්කා.. මෙවන් ඝාතන නීතිය කෙරෙහි මහජන විශ්වාසවය බිඳ වැටෙන්නත් හේතු වෙලා තියෙනවා..”
එලෙසම නීතිඥයින් ලෙසින් සේවාදායකයෙකු සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය. සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයින්ට ඇති අයිතිය නීතියේ ආධිපත්‍යයට හා සාධාරණ නඩු විභාගයක් සඳහා ව්‍යවස්ථාපිත අයිතියට අදාළ වෙන බව ද පීරිස් මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා සඳහන් කළේ නීතිඥයින්ට සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නට තිබෙන බවත් ඔවුන්ට වෘත්තීය ස්වාධිනත්වය හා වෘත්තීය කාර්යභාරය ඉටු කිරීමට අවකාශය තිබීමත් වැදගත් බවයි. එලෙසම නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය හා පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ද නීතිඥයින්ට කාර්යභාර්යක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.







