ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟවන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත , සත්‍ය හා ප්රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සහ අදහස් ලබා ගැනීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම ආර්ථික විද්‍යා අධ්‍යනාංශවල දක්ෂතම සිසුන් දස දෙනකු යොමු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී දැනුම් දුන්නේය. ඒ අතරින් සිසුන් පිරිසකට පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට නිෂ්පාදන හා සේවා ස්වයංක්‍රීය ක්‍රමයකට යා යුතු බවත්, එසේ නොවුවහොත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ තරග කළ නොහැකි බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය අලුතින්ම සකස් කළ යුතු බව ද පැවසීය.
කෙසේ නමුත් 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.







