යළිත් වරක් පට්ට පදුරු කුජීත පරාජයකි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් පරාදය.
යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 50ක් ක්‍රීඩා කිරීමට බැරි විය. ඕවර 41.3ක දි සියල්ලෝම ලකුණු 157කට දැවී ගියහ.
ඉන් ලකුණු 57ක් තනියම පැතුම් නිස්සංක විසින් ලබා ගත්තේය. දසුන් ශානක පන්දු 36ක දී ලකුණු 31ක් ලැබුවේය. ධනංජය ද සිල්වා ලකුණු 13කි. අනෙක් එකෙක්වත් ලකුණු 10 සීමාව පසු කළේ නැත. කුසල් මෙන්ඩිස්, ඈන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග ලකුණු ලබා ගත්තේ නැතිව දැවී ගියහ. පන්දු යැවීමේ දී පන්දු ඕවර 10 යැවූ මැට් හෙන්රි ලකුණු 14කට කඩුළු 03ක් බිඳ හෙළා ශ්‍රී ලංකා කණ්ඩායම කුඩු කර දැම්මේය.
හෙන්රි ශිප්ලෙයි පන්දු ඕවර 8.3 ක දී ලකුණු 32කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ඩැරිල් මිචෙල් පන්දු ඕවර 7ක දී ලකුණු 32ට කඩුලු 03කි.
මේ කෑම කෑවේ යළිත් වරක් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීම තේරූ පසුය.
ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි නවසීලන්ත කණ්ඩායේම ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 06කට දැවී ගියේය. කඩුළු දෙකම ලහිරු කුමාරගේය. කඩුල්ල පසුපස සිට කුසල් මෙන්ඩිස් උඩ පන්දු රැක ගත්තේය.
එහෙත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණි විල් යන්ග් ලකුනු 86ක් නොදැවී ලබා ගත්තේය. ඔහු සමග අගනා සම්බන්ධයක් ගොඩ නගා ගත් හෙන්රි නිකොල්ස් නොදැවි ලකුනු 44ක් ලැබුවේය.

නවසීලන්ත කණ්ඩායම පැය දෙක හමාරක දී තරගය නිමා කළේය. ඒ පන්දු ඕවර 32.5ක දී ලකුණු 159ක් රැස් කරමිනි. තවත් පන්දු 103ක් යැවීමට නියමිතව තිබිණි.
දැවී ගියේ නවසීලන්ත කඩුළු 04ක් පමණි.
ලහිරු කුමාර ලකුණු 39ට කඩුළු 02ක්, දසුන් ශානක ලකුණු 25ට කඩුළු 01ක්, කසුන් රාජිත ලකුණු 44ට කඩුල්ලක් ලැබුවේය.
සුදුසුකම් ලැබීමේ තරග මග හැර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයට යෑමට ශ්‍රී ලංකාව දුටු හීනය දැන් ඉතින් ලොවෙත් නැත.
තරගාවලි දෙකම අන්තයට පරාදය.








