අඩු මිලට බේකරි කර්මාන්තයට ලබා දෙන බිත්තර හේතුවෙන් කේක් මිල පමණක් අඩු කිරීමට හැකි බව සමස්ථ ලංකා බේකරි නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඔවුන් එසේ පවසන්නේ ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කළ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමිනි.
බේකරි නිශ්පාදකයින් පවසන්නේ බිත්තර මිල අඩුවීමෙන් රුපියල් 1200 සිට 1400 දක්වා මිල ගණන්වලට අලෙවි වන බටර් කේක් කිලෝව සැලකිය යුතු ලෙස මිල අඩුකළ හැකි නමුත් පාන් හෝ බනිස් මිල සංශෝධනයට එය හේතුවක් නොවනු ඇති බවය.
බිත්තර ආනයනය සම්බන්ධව අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවය.
මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය.
බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.







