ලලිත් චාමින්ද –
ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයාට සහ විකුණුම් අධ්‍යක්ෂකවරයාට පිළිවෙළින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක සහ රුපියල් ලක්ෂයක මාසික විනෝදාස්වාද දිමනාවක් ගෙවනු ලබන බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම සමාගමේ නිලධාරින් 22 දෙනෙකු සදහා 2020 හා 2021 යන වර්ෂයන් තුළ කිසිදු පොලි මුදලකින් තොරව ( ශුන්‍ය පොලි අනුපාතය යටතේ) රුපියල් මිලියන 127.06ක කාර්යමණ්ඩල වාහන ණය මුදලක් ලබා දි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකි ණය මුදලින් සියයට පනහක් එනම් රුපියල් මිලියන 63.53ක් කපාහැර ඇති අතර එම මුදල සමාගම විසින් දරණු ලබන බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසය තුළ ශුන්‍ය පොලි අනුපාතයක් යටතේ සාමාගමේ නිලධාරින් 33 දෙනෙකු සදහා රුපියල් මිලියන 251ක රැකියා ආශ්රිත වාහන ණය මුදලක් ලබා දි ඇත.
එමෙන්ම සමාගමේ JG 1-5 කාණ්ඩයේ නිලධාරින් 27 දෙනෙකු සදහා 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික වාහන දිමනාව සියයට 30කින් වැඩිකර ඇත. නව වාහන මාසික දිමනාව රුපියල් 143,000 සිට රුපියල් 443,300 දක්වා වැඩිකරගෙන ඇත.
සමාගම විසින් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට පවතින ලබන වැටුප මත වැටුප් සංශෝධනයක් සිදුකර ඇති අතර ඒ අනුව සමාගමේ සේවක කාර්යමණ්ඩල නව වැටුප රුපියල් 32,972 සිට රුපියල් 1,610,000ක් අතර පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
සමාගමේ අධ්යක්ෂ මණ්ඩල විසින් අනුමත කරණලද සමාගමේ මෝටර් රථ ප්‍රතිපත්තියට අනුව අනුකුලව දිමනා ගෙවනු ලබන බවද සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
මෙම දිමනා පිළිබද සමාගම විසින් අදාල අමාත්‍යංශයට සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත නිසි අයුරින් දැනුම් දි ඇති බවද විගණනයට සදහන් කොට තිබේ.







