ශ්‍රී ලංකාවට ස්වෛරී බැඳුම්කර හරහා මූල්‍ය ණය පහසුකම් ලබා දුන් බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපෙක්ෂා කරන ණය මුදල ලබා ගැනීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දුන් සහතිකය ශ්‍රී ලංකා රජය පිළිගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ශ්‍රී ලංකාවට පෞද්ගලිකව ණය ලබා දුන් මෙම ණය හිමියන් සමඟ විශ්වාසයකින් යුතුව අඛණ්ඩව සංවාදයේ යෙදෙන බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ එම තීරණය ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙන්ම ණය ස්ථාවරත්වය සඳහා උපකාරී වන බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පෞද්ගලික ස්වෛරී බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සිය එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කර තිබිණි.
ඔවුන් මෙම ලිපියෙන් සඳහන් කර තිබුණේ සමූහයක් ලෙස එක් වූ ශ්‍රී ලංකාවට ණය ලබා දුන් බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත ඊයේ (03) ලිපියක් එවමින් ප්‍රකාශ කර සිටියේ, පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් සකස් කරන වැඩපිළිවෙලට සක්‍රීයව හා කඩිනමින් සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ ණය ස්ථායිතාව, යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.







