තුෂාරී කළුබොවිල –
‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණෙන බවත්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව රාත්‍රී අහස පැහැදිලි නම් පහසුවෙන් දැක ගැනීමට හැකි බවත් නාසා විද්‍යාඥයන් පවසා තිබේ.
රොයිටර් වාර්තා අනුව මෙම වල්ගා තරුව දකින්න ලැබෙන්නේ වසර 50,000 කට වරකි.
පෘථිවිය සහ හිරු අතරින් මෙම වල්ගා තරුව 1 හා 2 දිනවලදී ගමන් කරනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ.
මීට පෙර මෙම වල්ගා තරුව පෘථිවිය අසලින් ගියේ නියැන්ඩතාල් මානවයන් පෘථිවියේ සිටි කාලයේ බව වාර්තා වේ.
වල්ගා තරුව පෘථිවිය අසලින් යනු ඇත්තේ කිලෝ මීටර් මිලියන 42 ක දුරකින් වන බවත්, එය පැහැදිලි ව දකින්න ලැබෙනු ඇත්තේ උතුරු අහසේ අලුයම් කාලයේ බවත් නාසා විද්‍යාඥයෝ පවසති.
ලබන පෙබරවාරි 10 වැනිදා වනවිට වල්ගා තරුව අඟහරු ග්‍රහයාට සමීප වීමට නියමිතය බව ද පැවසේ.
රොයිටර් වාර්තාවලට අනුව මෙම කොළ පැහැති වල්ගා තරුව පළමුවෙන් සොයා ගත්තේ 2022 මාර්තු දෙවැනිදා ‘ස්විකී ට්‍රාන්සිස්ට්’ නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන් විසිනි. කැලිෆෝනියාවේ පැලොමාර් කඳුකරයේ ඉදි කළ කැල්ටෙක් දුරේක්ෂය හරහා වල්ගා තරුව නිරීක්ෂණය සිදුවිය.
වල්ගාතරුවක් කිලෝ මීටර් ගණනක විෂ්කම්භයක් ඇති දූවිලි අයිස් බෝලයකි. වල්ගාතරුවක් තුනී වායු වැස්මකින් ආවරණය වී ඉතා කුඩා අංශුවලින් සෑදී ඇත. ප්‍රමාණයෙන් විශාල වල්ගාතරුවකට හිසක් ද, සංඝටක කොටසක් හෙවත් න්‍යෂ්ටියක් ද පිටතට විහිදෙන දිගු වල්ගයක් ද ඇත. කුඩා වල්ගාතරුවලට වල්ගයක් නැත. වල්ගා තරුවක වල්ගය සැමවිට ම පිහිටන්නේ හිරු දෙසට නොව; හිරුගෙන් විරුද්ධ දෙසට ය.
වල්ගාතරු දකින්න ලැබෙන්නේ නියමිත කාලයකට වරකි. හිරුට ළං වෙද්දී, වල්ගාතරුවේ වේගය පැයට කිලෝ මීටර් මිලියන දෙකක් පමණ වෙයි. හිරුගෙන් ඈතට යද්දී, වල්ගාතරුවේ වේගය අඩාල වෙයි. ඒ, පැයට කිලෝ මීටර් 100 ක් දක්වාය.
වල්ගාතරුව වැඩි කාලයක් ඈත විශ්වයේ සෙමින් ගමන් කරන්නේ මේ නිසාය. පෘථිවිය අසලට ආ ‘සී/2022ඊ3’ වල්ගා තරුවේ හිස කොටස කිලෝ මීටර් 1.6 ක විෂ්කම්භයකින් යුක්තය. එහි වල්ගය කිලෝ මීටර් මිලියන ගණනක් දුරට විහිදෙන බව නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
රොයිටර් පුවත් සේවය අසුරිනි –







