පසුගිය මැයි 09 දා ජනාධිපති මන්දිරයේ තිබි අරගලකරුවන් විසින් සොයා ගන්නා ලද රුපියල් එක් කෝටි හැත්තතෑපන් ලක්ෂයකට ආසන්න මුදලක් අධිකරණ භාරයේ නොතබා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ලබා දෙන ලෙස අයුතු බලපෑම් කළ බවට චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒ පිළිබඳව ගොනු කළ නඩුවක සැකකරුවකු ලෙස නම් කළ තොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ දේශබන්දු තෙන්නකෝන්ට පෙබරවාරි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (26) සිතාසි නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1) (අ) වගන්තියේ විධිවිධාන අනුව ගුරු වෘත්තීය සමිති නායකයකු වන මහින්ද ජයසිංහ විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තීරණය කළේය.
පෙත්සම්කාර මහින්ද ජයසිංහ මෙහිදී කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් එම මුදල ලබා දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 100, 109, සහ 389 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇති බවයි







