පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති අංශයේ දැනුම්වත්වීමකින් තොරව නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කිරීමට අදාල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් වාර්තාවක් කැඳවා තිබේ.
නීතිපතිවරයා අධිකරණයට කරන ලදැයි කියන අතපෙවීම් හෙළා දකිමින් පසුගිය ජනවාරි 18 වැනිදා උද්ඝෝෂණයක් සංවිධානය කළ නීතිඥ පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය මෙසේ බී වාර්තාවක් ගොනු කර තිබිණි.
එම බී වාර්තාවට අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක, නුවන් බෝපගේ, සේනක පෙරේරා ඇතුළු නීතීඥවරුන් පිරිසක් මැතිවරණ නීති සහ ජාතික මංමාවත් පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් විරෝධතාවක් සංවිධානය කර ඇති බවට කෙසෙල්වත්ත පොලිසිය චෝදනා කර ඇත.
පොලිස්පති ඩි.සී වික්‍රමරත්නගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති අංශයේ අනුදැනුමකින් තොරව එම බී වාර්තාව ගොනු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් වාර්තාවක් කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තගෙන් වැළැක්වීමට නීතිපතිවරයා ගත් උත්සාහය හෙළා දකිමින් නීතිඥවරු මෙම විරෝධතාව සංවිධානය කළහ.







