බෝන් අගේන් ආගමික කල්ලියෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම ඇතුලු සිද්ධීන් කීපයක් සම්බන්ධව ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජනී කමිටු වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියා පදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා තවමත් එම වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අද (20) අභියාචනාධිකරණයට දැන්වූයේය.
මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීවේ, මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ (19) දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම්දීමට නියමිත බවත්ය.
ඒ අනුව අදාළ පෙත්සම පෙබරවාරි මස 01 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවය.
එම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇති බවත් පෙත්සමේ සඳහන් වුනේය.
අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.







