දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා සිටින ආකාරය දස ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හදිසියේම ම ඊයේ (11) එම බන්ධනාගාරයට ගොස් ඇත.
ඒ අනුව ඔහුගේ රැඳවුම් තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කළ බවත් එහිදී නිරීක්ෂණය වූ කරුණු අනුව රැඳවියන්ගේ රඳවුම් තත්ත්වය පිළිබඳ ව වැඩිදුර කරුණු විමසීම සඳහා ඉදිරියේදී බන්ධනාගාර නිලධාරීන් මානව හිමිකම් කොමිසම වෙත කැඳවනු ලබන බවත් එම කොමිසම නිවේදනය කරයි.
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වන වෛද්‍ය නිමල් කරුණාසිරි සහ එම කොමිසමේ අධ්‍යක්ෂවරයකු වන නිමල් චන්ද්‍රසිරි ඇතුළු කණඩායමක් රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් ඇති අතර එහිදී වසන්ත මුදලිගේ ඇතුළු රැඳවියන්ට ලබා දෙන ආහාර පාන සහ ඒවා සකස් කරන ආකාරය ද දැඩි ලෙස නිරීක්ෂණයට ලක් කර ඇත.
රැඳවියන්ගේ රැඳවුම් තත්ත්වය වර්ධනය කිරීම සහ ඔවුන්ට ලබා දෙන ආහාර ගැන විශේෂයෙන් සඳහන් කරන කොමිසම මේ අනුව ආහාර පිළියෙළ කිරීමේ තත්ත්වය වැඩි දියුණු කිරීමට ගත යුතු පියවර පිළිබඳවද බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කොට ඇත.
කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කරන ලද මෙම හදිසි පරීක්ෂාව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මඟින් ක්‍රියාතමක කරන වධ හිංසා වැළැක්වීමේ ජාතික යාන්ත්‍රණයේ අංගයක් ලෙස සිදු කළ බවද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.







