ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීම සදහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවීමට පැමිණි ඉහළ පෙලේ ජපන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් එකගතාවය දැක්වූහ.
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය FUJIMARU Satoshi, ජනගහන පරිහානිය ජය ගැනීම සහ දේශීය ආර්ථිකය ජීවමාන කිරීම ප්‍රවර්ධනය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය YAMAMOTO Kozo යන මහත්වරුන් ප්රමුඛ ජපාන නියෝජිත කණ්ඩායමක් අද (11) උදෑසන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී හමුවූ අතර එහිදී ජපාන නියෝජිත කණ්ඩායම මෙම එකගතාවය දැක්වූහ.
ඔටෝ මොබයිල් ක්ෂේත්රයේ රැකියා ඉලක්ක කරගත් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මෙහිදී අවධානය යොමුවිය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම සහ සහාය ඒ සදහා ලබාදීමටද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එකගතාවය පළ කළේය. මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසුව, එහි පුහුණුව ලබන සියලු දෙනාටම සෘජුව ජපානයේ රැකියා අවස්ථා විවෘත කරදීමට ඇති හැකියාව පිළිබද ජපාන නියෝජිත කණ්ඩාම පැහැදිළි කළහ.
ඉදිරි වසර කිහිපය තුළදී ජපානයේ රැකියා සදහා විදේශ රටවලින් ශ්‍රමිකයින් ලක්ෂ 65ක් බදවා ගැනීමේ අවශ්‍යතාවය පවතින අතර, එම ශ්‍රම ඉල්ලුම සම්පූර්ණ කිරීම සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.
ජපානයට ශ්‍රමිකයින් පිටත් කර යවන එස්.එස්. ඩබ්ලිව් වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමටත්, ඒ සදහා ජපානයෙන් ලැබිය යුතු උපරිම සහාය ලබාදීමටත් මෙම නියෝජිත කණ්ඩායම එකගතාවය දැක්වූහ.
මේ වන විට ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ මට්ටමක පවතින නිසා විදේශ රටවල ශ්‍රමිකයින්ට පවතින වැඩි රැකියා අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලංකාවේ ශ්‍රමිකයින් වැඩි වශයෙන් බදවා ගැනිමට ජපානය සූදානමින් සිටින බව ජපන් නියෝජිතයෝ පැවසූහ. ජපානය සහ ලංකාව අතර පවතින සමීප සංස්කෘතික හා ආගමික සම්බන්ධතාවයන් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් බදවා ගැනීමට වැඩි කැමැත්තක් ඇති බව ජපාන නියෝජිතයෝ සදහන් කළහ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් සපයන රටවල් අතර අංක එකට පැමිණීමට අවශ්‍ය කටයුතු තමන්ගේ සෘජු මැදිහත්වීම මත සූදානම් කර ඇති බව මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැහැදිළි කළේය.
පාසල් විශය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට තමන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත්, ජාතික අධ්‍යාපන ආයතනය විසින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත පන්දහසකට ජපන් භාෂා පුහුණුව ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, පසුගියදා පැවති ජපන් භාෂා ප්‍රවීණතා විභාගයට දාහත්දහසක් මුහුණදී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.







