විදුලි බිල සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා වූ උත්සාහයට කැබිනට් මණ්ඩලය තුලින් හා සමාජයෙන් ඇතිවූ විරෝධතාවය හේතුවෙන් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා මිල සූත්‍රයක් සකස් කර එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට අද කැබිනට් රැස්වීමේ දී තීරණය වී තිබේ.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව ඉදිරිපත් වුන යෝජනාවට මහජන උපයෝගීතා කොමිසම සිය දැඩි විරෝධය පල කළ අතර කැබිනට් අනුමැතියකින් විදුලි බිල වැඩි කිරීමට උත්සාහ කළහොත් තමන් විසින් නිශේද බලය යොදා එම යෝජනාව බල රහිත කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේය.
ඔහු අද උදෑසනත් මෙම විදුලි බිල වැඩිකිරීමට ට එරෙහිව සිය විරෝධය දැක්වූයේය.
ඒ අතර ඕමල්පේ සෝබිත හිමි ඇතුළු සමාජ ක්‍රියාකාරින් පිරිසක් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අත්සන් හැට නව ලක්ෂයක් සහිත පෙත්සමක් මහජන උපයෝගීතා කොමිසමට භාර දුන්නේය.
එම කණ්ඩායමේ සිවිල් පිරිස බර කරත්තයකින් කොළඹ කොටුවේ සිට ඊට නුදුරින් ඇති BOC වෙළඳ කුලුනේ 06වන මහලේ පිහිටි මහජන උපයෝගීතා කොමිසම වෙත යන්නට ගත් උත්සාහය පොලිසිය විසින් නවත්වනු ලැබුවේය.
අනතුරුව එම පිරිස පා ගමනින් එම ස්ථානයට යෑමට ගත් උත්සාහයත් පොලිස් විරෝධය අතරමැද නැවතිනි. පසුව එම පිරිස බස් රථයක නැගී කොමිෂන් සභාව පිහිටි ලංකා බැංකු ගොඩනැගිල්ල අසලට පැමිණ පෙත්සම භාර දුන්නේය.
විදුලි බිල වැඩි කිරීම සිදුවූයේ නම් හෙට සිටම රට පුරා විරෝධතා රැල්ලක් ඇතිවිය හැකිව තිබිණි. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇත්තේ විදුලි බිල වැඩි කළ යුතුම බවය.
අයි.එම්.එෆ්. මග පෙන්වීම යටතේ ගොස් අදාල ණය මුදල ලබා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීම, විදුලි බිල වැඩිකිරීම, සුබ සාධන සේවා කප්පාදු කිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඔහු පවසා ඇත්තේ ජනප්‍රිය නොවන තීන්දු ගණනාවක් නොගෙන රට දැන් වැටී ඇති තත්ත්වයෙන් ඔසවා තැබිය නොහැකි බවය.







