කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයට සම්බන්ධිත ද්‍රව ස්වභාවික වායු (එල්එන්ජී ) බලාගාරය ට අදාළ ගොඩබෑමේ පර්යන්තයක් සඳහා ඉදිරිපත් වූ ආන්දෝලනාත්මක ඇමෙරිකානු සමගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගගමෙන් අදාළ ව්‍යාපෘතිය සඳහා තවත් පාර්ශ්ව තුනක් සමඟ ඒකාබද්ධ ව ව්‍යාපෘති යෝජනා කැඳවීමට කටයුතු කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
මහ රෑ 12.00ට මුදල් අමාත්‍යංශය විසින් අත්සන් කරන ද ආයෝජන ගිවිසුම සහ නිසි ටෙන්ඩර ක්‍රියාපටිපාටියෙන් තොරව එම ගිවිසුමට එලඹීම හේතුවෙන් පැවැති රජයේ දේශපාලන වියවුලකට පවා මඟ පෑදු මෙම විවාදිත ඇමෙරිකානු සමාගම මේ වනවිට යළි අදාළ ව්‍යාපෘතියට හවුල් වීම සඳහා ඊට පෙර යෝජනා ඉදිරිපත් කර ඇති පාර්ශ්ව ත්‍රිත්වයක් සමඟ මේ වනවිට සාකචඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා “ එකොනොමි නෙකස්ට්“ වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබේ.
අමාත්‍ය කාංචන විජේසේකර මේ පිළිබදව පැහැදිළි කර ඇත්තේ මෙසේය.
“ කෙරවළපිටිය පිහිටි යුග දනවි බලාගාරයේ මෙගවොට් 300ක බලාගාරය සඳහා දැනටමත් ස්වාභාවික ද්‍රව වායු භාවිත කළ හැකියි. එයට අමතරව 2023 වසරේ නොවැම්බර වනවිට සොබාදනවි නමින් එම පරිශ්‍රයේම තවත් මෙගවොට් 300ක බලාගාරයක වැඩ නිම වෙනවා.“
“මේ වනවිට බලාගාර පහසුකම තිබුණත් ද්‍රව ස්වාභාවික වායු ගොඩ බෑමට පර්යන්තයක් නැහැ. මේ සඳහා වියදම් කිරීමට රජයට මේ වනවිට හැකියාවක් නැති නිසා එය ආයෝජකයකු වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. එහිදි මේ සඳහා 2017 වසරේදි ජපානය, ඉන්දියාව සහ ශ්‍රි ලංකාවේ නියෝජිතත්වය සහිත ත්රෛයිපාර්ශ්විය යෝජනාවක් ඉදිරිපත් ව තිබුණා. නිව් ෆෝට්රස් සමාගමට ලබා දී තිබු අවස්ථාවත් පසුගිය කාලයේ අවලංගු කෙරුණා. “
“අප දැන් බලන්නේ වඩාත් ඉක්මනින් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි යෝජනාව කුමක්ද කියලයි. එහිදී අප මෙම සමාගම්වලට කීවා ඒකාබද්ධව මේ සඳහා යොජනා දෙන්න කියල. ඒ අනුව දැන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රි ලංකාව එක් වූ සමාගම් සහ නිව් ෆෝට්රස් සමාගම අතර අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙනවා.
ඔවුන් මේ සඳහ ගැලපෙන යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. “ අමාත්‍යවරයා මෙලෙස සඳහන් කර තිබුණි.









