ඉන්දීය ඖෂධ නිෂ්පාදකයෙකු වන Marion Biotech විසින් නිෂ්පාදනය කරන ලද Doc-1 Max නැමැති කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් පසු වකුගඩු අක්‍රීය වූ ළමුන් 18 දෙනෙකු මියගොස් ඇතිබව උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
උස්බෙකිස්තානයෙන් මෙම චෝදනාව පැමිණෙන්නේ ගැම්බියාව ද වෙනත් ඉන්දියානු සමාගමක් විසින් සාදන ලද කැස්ස සිරප් නිසා සිදුවූ ළමා මරණ ගැන නිවේදනය කර සති කිහිපයකට පසුවය.
උස්බෙකිස්ථානයේ සිද්ධියට සම්බන්ද Doc-1 Max නැමැති ඖෂධ තොගයේ එතිලීන් ග්ලයිකෝල් නම් විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගිය බව එරට අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙත්ත මෙම කැස්ස පැණිය වෛද්‍ය නිර්දේශයකින් තොරව දරුවන්ට අධි මාත්‍රාවෙන් ලබා දී ඇතැයි මූලික විමර්ශන වලදී හෙළි වූ බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අංශ වාර්තාවල සඳහන්ව තිබේ.
මේ සම්බන්ධව ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ දෙසැම්බර් 27 වැනිදා සිට ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන් “උස්බෙකිස්තානයේ ජාතික ඖෂධ නියාමන බලධාරීන් සමඟ මෙම කාරණය සම්බන්ධයෙන් නිරන්තර සම්බන්ධකම් පවත්වන” බවය.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි Marion Biotech ඖෂධ නිශ්පාදන මධ්‍යස්ථානය සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවත් ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
” Doc-1 Max කැස්ස සිරප්වල සාම්පල නිෂ්පාදන පරිශ්‍රයෙන් ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා චන්දිගාර් හි ප්‍රාදේශීය ඖෂධ පරීක්ෂණ රසායනාගාරය වෙත යවා ඇති බවත් ඉන්දීය බලධාරීන් ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
උස්බෙකිස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශය
දෙසැම්බර් 27 දා උස්බෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙන්නේ Doc-1 Max ඖෂධය 2012 සිට පෙති සහ සිරප් රට තුළ අලෙවි කර ඇති බවය.
“මිය ගිය දරුවන්, රෝහල් ප්‍රතිකාර සඳහා ඇතුළත් වීමට පෙර, ළමුන් සඳහා ඖෂධයේ සම්මත මාත්‍රාව ඉක්මවන ලෙස මෙම ඖෂධය නිවසේදී ගත් බව පෙනී ගියේය.” අමාත්‍යාංශය වැඩිදුරටත් කියා ඇත.
එම ප්‍රකාශයේ මරණ සිදුවූයේ කුමන කාලසීමාවකදී ද යන්න නිශ්චිතව දක්වා නැත. විදේශ මාධ්‍ය දෙසැම්බර් 23 දින වාර්තා කර තිබුණේ “ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර්ගයක් ගැනීමෙන් පසු පසුගිය මාස දෙක තුළ උස්බෙකිස්ථානයේ මධ්‍යම සමර්කන්ඩ් ප්‍රදේශයේ ළමුන් 15 දෙනෙකු මිය ගිය බවට වූ ප්‍රකාශයන්” පිළිබඳව උස්බෙක් බලධාරීන් විමර්ශනය කරන බවයි.
දෙසැම්බර් 26 වන දින උස්බෙකිස්ථානයේ පුවත් ඒජන්සි ළමුන් 21 දෙනෙකුගෙන් වයස අවුරුදු තුනට අඩු දරුවන් 15 දෙනෙකු – “සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර ඉන්දියාවේ නිෂ්පාදිත Doc-1 Max කැස්ස සිරප් වර්ගය නිසා ඇති වූ බව කියන උග්‍ර වකුගඩු අකර්මණ්‍ය වීමක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බවය..
“මෙම Doc-1 Max සිරප් මාලාවේ එතිලීන් ග්ලයිකෝල් අඩංගු බව මූලික රසායනාගාර අධ්‍යයනවලින් හෙළි වී ඇති බව” උස්බෙකිස්ථාන් සෞඛ්‍ය අමාත්‍යාංශය කීවේය.
මේ සම්බන්ධව වාර්තා කරන බීබීසිය පවසන්නේ සිදුවීම පිළිබඳ අදහස් දැක්වීම සඳහා බීබීසී කළ ඉල්ලීමට Marion Biotech සමාගම තවමත් ප්‍රතිචාර දක්වා නැති බවය..
Marion Biotechහි වෙබ් අඩවිය දැනට ක්‍රියා විරහිතව ඇති අතර සමාගමේ LinkedIn පිටුව පවසන්නේ එය 1999 දී ආරම්භ කරන ලද බවත් එහි නිෂ්පාදන “මධ්‍යම ආසියාතික රටවල්, මධ්‍යම සහ ලතින් ඇමරිකාව, අග්නිදිග ආසියාව සහ අප්‍රිකාවේ ප්‍රචලිත බවත්ය.
කෙසේ වෙතත් Marion Biotech විධායක නිලධාරියෙකු උපුටා දක්වමින් ANI පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ සමාගම විසින් සිරප් නිෂ්පාදනය තාවකාලිකව නවතා ඇති බවය. ඉන්දීය රජය විසින් පරීක්ෂණයක් පවත්වන බවත් එහි නිර්දේශ අනුව ආයතනය ඉදිරි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් දන්වා ඇත.
ගැම්බියාවේ සිද්ධිය
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ගැම්බියාවේ වකුගඩු ආබාධවලින් ළමුන් 66 දෙනෙකු මියයාමට ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් හතරක් බලපා ඇති බව පෙන්වා දී ඇත. එම සිරප්වල සාම්පල පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ ඒවායේ පිළිගත නොහැකි විෂ ද්‍රව්‍ය වන ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් අඩංගු බව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කීවේය..
ඉන්දීය රජය මෙන්ම එම ඖෂධ නිපදවූ Maiden Pharmaceuticals සමාගමද එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
ඉන්දියාව දෙසැම්බර් මස මුලදී කියා සිටියේ සිරප් හතර පිළිබඳ පරීක්ෂණ නිශ්චිත පිරිවිතරයන්ට අනුකූල බවය. ඉන්දිීය රජයේ නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිරප් වලට දොස් පැවරීමේදී “උඩඟු” වී ඇති බවයි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ තමන් ගත් ක්‍රියාමාර්ගය වෙනුවෙන් පෙනී සිටින බවයි.
පසුගිය සතියේ, ගැම්බියාවේ පාර්ලිමේන්තු කමිටුවක් සති කිහිපයක විමර්ශනයකින් පසුව ගැම්බියාව තුළ ප්‍රශ්නගත ඖෂධයේ නිශ්පාදන සමාගමවන Maiden Pharmaceuticals සමාගමට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කළේය.
සමාගම විසින් සිදුකරන සියලුම නිෂ්පාදන රට තුළ තහනම් කිරීමට ද කමිටුව නිර්දේශ කළේය.
කෙසේ වෙතත් ඉන්දියාව ලෝකයේ ඖෂධවලින් තුනෙන් එකක් නිෂ්පාදනය කරයි. වේගයෙන්ම වර්ධනය වන ඖෂධ සමාගම් කිහිපයක නිවහන වන රට “ලෝකයේ ඔසුසල” ලෙස හඳුන්වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල වෛද්‍ය අවශ්‍යතා බොහොමයක් සපුරාලන්නේ ඉන්දියාව විසිනි.







