ඇමෙරිකාවේ මෙතෙක් සිදුවූ විශාලතම හෙජ් අරමුදල් අභ්‍යන්තර වෙළෙඳ වංචාවේ මහා මොළකරු ලෙසින් සැලකෙන එරට අධිකරණය මඟින් 11 වසරක සිර දඬුවමට ලක් කළ ශ්‍රී ලංකාවේ උපන් රාජ් රාජරත්නම් මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින බව ඩේලි මිරර් පුවත්පත අනාවරණය කරයි.
ඔහු මෙරට ගත කරන කාලය තුළ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිත බව ඩේලි මිරර් කියයි.
හෙජ්න් අරමුදල් වංචා ඇතුළු වැරදි ගණනාවක් මත 2009 වසරේදී ඇමෙරිකානු ෆෙඩරල් බුද්ධි කාර්යංශය එනම් එෆ් බී අයි මඟින් අත්අඩඅංගුවට ගත් ගැලියන් හෙජ් අරමුදලේ නිර්මාතෘ රාජ් රාජරත්නම් ට 2011 වසරෙදී 11 වසරක සිර දඩුවමක් නියම වූ අතර ඔහු සිර දඬුවමින් නිදහස් වූයේ 2019 වසරේදීය.
කොටි ත්රස්තවාදීන් සමඟ සබඳතා ඇතිබවට චෝදනා එල්ලවීම හේතුවෙන් 2007 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වත්කම් අත්හිටුවන ලද දෙමළ පුනරුත්ථාපන සංවිධානයට (TRO) ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි මුදලක් ලබා දුන් බවට ද රාජරත්නම්ට චෝදනා එල්ල විය.
මෙරට කොටස් වෙළෙඳපොළ හරහා කලක් සිය මුදල් ආයෝජනය කළ ආයෝජකයකු ද වන රාජ් රාජරත්නම් 2006 වසරේ දී මහ බැංකුවේ අවසරයකින් තොරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ශාඛාවක තැන්පත් කළ ආන්දෝලනාත්මක ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූ අතර හිටපු අමාතයවරයකු වන රවී කරුණානායකගේ නම මෙම නීතිවිරෝධී ගනුදෙනුව සම්බන්ධ සම්බන්ධයෙන් ගෑවී තිබිණි.
කෙසේ වුවද 2015 වසරේදී විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත රවී කරුණානායක අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.







