දිනේෂ් ෂාෆ්ටර් ඝාතන සිද්ධියේ පරීක්ෂණ වෙනස්ම මගකට යොමුවන ලකුණු පහළ වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
එම ආරංචි මාර්ග පවසන්නේ රස පරීක්ෂකවරයා කොළඹ 07 මල් පාරේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී ගොනු කරගත් සාක්ෂි මත මෙතෙක් ගොඩනැගුණු පරීක්ෂණ ස්වරූපය වෙනස් වියහැකි බවය.
කෙසේ වෙතත් එම විමර්ශන ප්‍රවේශය සමාජය තුළ බලවත් කතා බහට ලක්වනු ඇති බව පොලිසියේම ඇතැම් පාර්ශව පුරෝකථනය කර ඇත.
දිනේෂ් ෂාෆ්ටර් කෝටි දෙදහසකට වැඩි මුදලක් ආයෝජනය කර එය අහිමි වීම නිසා දැඩි සිත් තැවුලකින් සිටි බවට වූ තොරතුරු දැන් ප්රමුඛව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් දැනට හෙළිකරගත් තොරතුරු අනුව මේ මරණය ඝාතනයක ස්වරූපයට වඩාත් සමීප වූ බව රටට පෙනුනේය. දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත වෙත යන්නේ පැය භාගයකින් යළි එන බව තමන්ට පවසමින් බව බිරිය ටානි ෂාෆ්ටර්ගේ ප්‍රකාශවල සටහන් වී ඇතැයි ප්‍රකාශ විනි.
එහෙන්ම ඔහු බොරැල්ල කනත්ත වෙත තමන් විසින්ම රිය පදවාගෙන යන අතරමග කොළඹ 07 ගුණපාල මළළසේකර මාවතේ රොඩිගෝස් ලෙජන්ඩ්රි ෆ්ලේවර් ආහාර අලෙවි සලෙන් කෙටි කෑම ඇසුරුම් දෙකක් මිලදී ගෙන තිබිණි.
එම එක් කෙටි කෑම ඇසුරුමක ඇති කෑම ඔහු විසින් අනුභව කර ඇති ආකාරය පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. අනෙක් කෙටි කෑම බෑගය සම්බන්ධව කිිසිම තොරතුරක් අනාවරණය වී තිබුණේ නැත.
තවද දිනේෂ් ෂාෆ්ටර් ගලවා ගැනීමට පැමිණි කනත්තේ සේවකයා ඔහුගේ දෑත් තදින් බැඳ තිබූ බවත් ගෙල ද තදින් සිරකර තිබුණ බැවින් ගලවා ගැනීමට සෑහෙන ආයාසයක් දැරීමට සිදුවූ බවත් මාධ්‍යයට ප්‍රකාශ කළේය.
හඳුනා නොගත් පුද්ගලයෙක් වේගයෙන් රිය අසලින් ගිය බව ද එම කනත්ත සේවකයා පැවසූ බව වාර්තා විය.
එමෙන්ම බ්‍රයන් තෝමස් වෙත දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යන්නේ ඔහු අනතුරට පත් වූ පසුව දැයි මුලින්ම විමර්ශ අංශ සැක පහළ කර තිබිණි.
ඉදිරි විමර්ශන වෙන මගකට යොමු වන්නේ නම් එසේ සිදුවන්නේ සමාජයම දුටු මෙවැනි සිදුවීම් රැසක් මධ්‍යයේය.









